රිලවියන්ට උපත් පාලන උපකරණයක්

රිලා ගහනය පාලනය කිරීම සඳහා ගැහැනු රිලා සතුන්ට ලූපයක් දැමීම කෙරෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අවධානය යොමුව තිබෙනවා.
පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අතුල දන්ගොල්ල මහතා සඳහන් කර ඇත්තේ, මේ වන විට රිලා ගැහැනු සතුන්ගේ ඩිම්බ කෝෂවල ප්‍රමාණයන් ඇතුළු ලිංගික ප්‍රදේශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් අධීක්ෂණය කරමින් සිටින බවයි.
රිලා ගහනය අවම කර ගැනීම සඳහා ගැහැනු සතුන්ට වඳ සැත්කම් කිරීමට විශාල මුදලක් වැය වන අතර ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බවත් පෙන්වා දෙන මහාචාර්යවරයා රිලා ගැහැනු සතුන් අල්ලා උන්ට ලූපයක් පැළඳවීම පහසු හා වියදම් අඩු කටයුත්තක් බව සඳහන් කරනවා.
රිලවුන් සඳහා භාවිත කළ යුතු ලූපය අලුතින්ම නිර්මාණය කළ යුත්තක් බැවින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට හා නිෂ්පාදනය සඳහා දානපතියෙකුගේ හෝ පරිත්‍යාගශීලියෙකුගේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි වාර්තාවන්නේ.
රිලවුන්ගෙන් වගාවට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා ගොවීහු වායු රයිෆල්වලින් වෙඩි තැබීම හේතුවෙන් මොළයට, ඇසට දරුණු තුවාල සිදුවූ රිලවුන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් සිටින බැවින් රිලා ගහනය පාලනය කර ගැනීමෙන් එම සතුන්ගේ ජීවිතවලටද සිදුවන හානිය අවම කර ගත හැකි බවද මහාචාර්යවරයා පෙන්වාදෙනවා.