දේශීය

විරෝධතාකරුවන්​ට අධිකරණයෙන් නියෝගයක්

පොල්දූව මංසන්දියේ අද (24) පැවැත්වීමට නියමිත විරෝධතාවකට අදාළව මහජනතාව අපහසුතාවට පත්වන අයුරින් විරෝධතා පෙළපාලි හෝ පාගමන්වල නිරතවීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු විරෝධතාකරුවන් පිරිසක් අද (24) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අධිකරණය දැනුම්දී ඇත්තේ, මාර්ගය භාවිත කරන මහජනතාවට හා පදිකයින්ට අවහිරවන සේ කිසිදු මාර්ගයක් හරස් කර හෝ ප්‍රචණ්ඩක්‍රියා නොකිරීමටත්, මහජන නියොජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝනය වන අයුරින් හා රාජකාරියේ යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි සඳහා බාධාවක් සිදුවන අයුරින් හෝ කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අයුරින් අදාළ උද්ඝෝෂණය සිදුකිරීමට වගබලාගත යුතු බවයි.

එසේ වගකීම භාරගැනීමට නොහැකි නම් අදාළ උද්ඝෝෂණය වගඋත්තරකරුවන් විසින් නොපමාව විසුරුවා හැරිය යුතු බවත් මෙම නියෝගය කඩකළ හොත් සාමය රැකීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය වහාම පියවර ගත යුතු බව වැඩිදුරටත් සඳහන්වනවා.

පොල්දූව වටරවුමේ සිට පාර්ලිමේන්තු මාර්ගය අවහිර කරමින් පාර්ලිමේන්තු ප්‍රධාන දොරටුව අවහිර කරමින් සහ පාර්ලිමේන්තුවට පිවිසිය නොහැකි ලෙස ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවය පැවැත්වීමට නියමිත බවට වැලිකඩ පොලීසියට ලද තොරතුරක් මත ස්ථානාධිපතිවරයා විසින් කළ ඉල්ලීමක් අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button