විදෙස්

සටන් විරාමය දීර්ඝ කිරීමට කටාර්හි සාකච්ඡා

ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් නිදහස් කිරීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පසුගියදා ආරම්භවූ දින හතරක තාවකාලික සටන් විරාමය තවත් දින දෙකකට දීර්ඝ කිරීමෙන් පසු නව සටන් විරාමයක් සඳහා දෙපාර්ශ්වය එකඟ කර ගැනීමට ඊයේ (29) කටාර් රාජ්‍යයේදී සාකච්ඡාවක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දින 6ක් දක්වා දීර්ඝ කළ ඊශ්‍රායල – හමාස් සටන් විරාමයේ අවසන් දිනයවූ ඊයේ නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන්ගේ නම් ලැයිස්තුව හමාස් සංවිධානය වෙතින් වේලාසනින්ම ඊශ්‍රායලයට ලැබී ඇති බවයි වාර්තාවන්නේ.

සටන් විරාමයේ පස්වැනි දිනයවූ පෙරේදා ප්‍රාණ ඇපකරුවන් 12 දෙනකු නිදහස් කිරීමට හමාස් සංවිධානය පියවර ගෙන තිබූ අතර, ඊශ්‍රායලය විසින් නිදහස් කරනු ලැබූ පලස්තීන සිරකරුවන්ගේ සංඛ්‍යාව 30ක් බව වාර්තාවනවා.

හමාස් සංවිධානය පෙරේදා නිදහස් කළ පුද්ගලයන් අතර තායිලන්ත ජාතිකයන් දෙදෙනකුද සිටින බව වැඩිදුරටත් වාර්තාවුණා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, දෙපාර්ශ්වය අතර සටන් විරාම කාලසීමාව තුළ මේ දක්වා ගතවූ දින 5 ඇතුළත ප්‍රාණ ඇපකරුවන් 81 දෙනකු නිදහස් කර ඇති අතර ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 180 දෙනකු නිදහස් කළ බවයි.

මේ අතර ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ආරම්භවූ තාවකාලික සටන් විරාමය අතරතුර ඊජිප්තුවේ රෆා දේශසීමාවේ සිට ගාසා තීරයට ප්‍රවාහනය කරනු ලැබූ අතර, ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලබා ගැනීමට පලස්තීන ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගාසා තීරයේ විවිධ පළාත්වල සිය ගණනින් එක්රැස්වූ ජනතාව ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලදී ගැනීමට බලා සිටින බවත්, ඉන් බොහෝ අය දින ගණනාවක් පුරා පෝලිම් ගැසී සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button