ඉම්රාන් ඛාන්ගේ හිටපු උපදේශක බ්‍රිතාන්‍යයේදී ඇසිඩ් ප්‍රහාරයකට ලක්වේ

මේ වන විට බන්ධනාගාරගතවී සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ උපදේශකවරයකු ලෙස එවකට කටයුතු කළ මිර්සා ශෙහ්සාඩ් එංගලන්තයේදී ඇසිඩ් ප්‍රහාරයකට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහිදී වාර්තාවන්නේ, ඉම්රාන්ගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ හිටපු සභාපතිවරයකුද වන මිර්සා එංගලන්තයේ පදිංචිව සිටින නිවෙසට පැමිණි නාඳුනන පුද්ගලයකු එම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවයි.
ඇසිඩ් ප්‍රහාරය තම දෑස් ඉලක්ක කරමින් එල්ල කළ බවත්, එම ඉලක්කය වැරදී ගොස් තම සිරුරට ඇසිඩ් ප්‍රහාරය එල්ලවූ බවත් මිර්සා ප්‍රකාශ කර තිබෙනවා.
ඇසිඩ් ප්‍රහාරය පිළිබඳ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවයි වාර්තාවන්නේ.
සිය පවුලේ සාමාජිකයන් සමඟ මීට වසර කිහිපයකට පෙර එංගලන්තයට පලා යෑමෙන් පසු මරණ තර්ජන විශාල ප්‍රමාණයක් ලැබුණු බවද මිර්සා ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු පාකිස්තානයෙන් පලා ගොස් ඇත්තේ ඔහුගේ සොහොයුරු අභිරහස් ලෙස අතුරුදන් වීමෙන් පසුව බවයි සඳහන්වන්නේ.