දේශීය

ඩයනාගේ සිද්ධිය සොයාබැලීමට පත් කළ කමිටුව අද රැස්වෙයි

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඇතිවු සිද්ධිය පිළිබඳව කරුණු සොයාබැලීමට පත් කළ කමිටුව අද (06) රැස්වීමට නියමිතව තිබෙනවා.

පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජනබලවේගය පක්ෂයේ රෝහණ බණ්ඩාර මහතා සහ සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබු අතර ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කමිටුවක් පත්කළා.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කළ අතර එම සිදුවීමට අදාළ පාර්ලිමේන්තුවේ ආරක්ෂිත කැමරා දර්ශනද අදාළ කමිටුව විසින් පසුගියදා නිරීක්ෂණය කර තිබෙනවා.

ඒ අනුව මෙම සිදුවීමට සම්බන්ධ පාර්ශව අද දිනයේ මෙම කමිටුව හමුවට කැඳවා ඇති බවයි වාර්තාවන්නේ.

එහිදි අදාළ පාර්ශවයන්ගෙන් කරුණු විමසීමට නියමිත අතර අනතුරුව මේ පිළිබඳ නිගමනය කථානායකවරයා වෙත දැනුම්දීමට නියමිතයි.

මේවන විට මෙම කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකුගේද සහාය ලබාගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ තලතා අතුකෝරළ යන මහත්මීන් අද දිනයේ පැවැත්වෙන මෙම කමිටුව සඳහා එක්වීමට නියමිතයි.

මේ අතර මෙම කමිටුව මඟින් සිදුකරන විමර්ශනවලදී යම්කිසි පාර්ශවයක් වැරදිකරුවන් බවට පත්වුවහොත් ඔවුන්ට මාස තුනක කාලයක් පාර්ලිමේන්තු සභාවාර අහිමිවන බව සඳහන්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button