විදෙස්

ගාසා තීරයේ සටන් විරාමයක් නෑ – ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු

ගාසා තීරය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල ආග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා පවසනවා.

සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම හමාස් සංවිධානයට යටත් වීමක් වනු ඇති පෙන්වා දෙමින් මෙය යුද්ධය සඳහා කාලය වන බව ටෙල්අවිව් නුවරදී ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, හමාස් සටන්කාමීන් අඩපණ කරමින්, ඔවුන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල වැසියන් 230 දෙනා බේරා ගැනීම ඊශ්‍රායල හමුදාවේ ප්‍රධාන අරමුණ වන අතර ඒ සඳහා ජාත්‍යන්තරයේ සහාය අපේක්ෂා කරන බවයි.

එමෙන්ම කිසිදු කොන්දේසියක් නොමැතිව, හමාස් සටන්කාමීන් ප්‍රාණ ඇපයේ රඳවා සිටින ඊශ්‍රායල වැසියන් වහා නිදහස් කළ යුතු බවද නෙතන්යාහු මහතා අවධාරණය කරනවා.

මේ අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකදී එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සිය මානූෂීය සටන් විරාමයක් සඳහා නැවතත් ඉල්ලීම් කර තිබුණා.

එමෙන්ම ගාසා තීරයේ තත්වය දිනෙන් දිනම නරක අතට හැරෙන අතර පහර දීම් නතර නොවුනහොත් ගාසා තීරයේ දරුවන්ටද තම ජීවිතවලින් ඊට වන්දි ගෙවීමට සිදු වනු ඇති බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙනවා.

හමාස් සංවිධානය යටතේ පවතින සෞඛ්‍ය අංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රහාරවලින් මේ වන විට අවම වශයෙන් ගාසා තීරයේ දරුවන් 3457 ක් ඇතුළුව පුද්ගලයින් 8306 ක් මිය ගොස් ඇති බවයි.

මිය ගිය පුද්ගලයන් අතරට කාන්තාවන් 2,136 ක් සහ වයෝවෘද්ධ පුද්ගලයින් 480 ක්ද ඇතුළත් බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button