දේශීය

සියලු විදුලි සේවකයෝ හෙට විරෝධතාවක්

සියලු විදුලි සේවකයින් හෙට (01) කොළඹට කැඳවා විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලය විකිණීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එම විරෝධතාව පවත්වන බවයි.

ඒ පිළිබඳව විදුලි සේවක සංගමය දැක්වූ අදහස්,

“ආණ්ඩුව සුදානම් වෙනවා ලංකා විදුලි බලමණ්ඩලය විදෙස් සමාගම් 14කට විකුණන්න. දැනට තොරතුරු ලැබිලා තියෙනවා අද කැබිනට් එකට දාලා අනුමාත කරගන්න යනවා කියලා. විදුලි බලමණ්ඩලය සතුව බෙදාහැරීමේ අන්ත තියෙනවා හතරක්. මේ හතරයි ලෙකෝ සමාගමේ සතු බෙදාහැරීම් පද්ධතියයි ඉන්දියානු ටාටා සමාගමට විකුණාන්න යනවා කියන තොරතුර අපට ලැබි තියෙනවා. සම්ප්‍රේෂණ අංශය අදාළ සමාගමට දෙන්න කටයුතු කරලා තියෙනවා. නොරොච්චෝලේ තාප බලාගාරය චීන සමාගමට විකුණන්න සියලු කටයුතු සුදානම් කරලා තියෙනවා කියලා අපිට තොරතුරක් තියෙනවා. ඉතිරි සමාගම් හය ජල විදුලි බලාගාරයි, තාප බලාගාරයි වෙන් කරලා විකුණා දැමීමට කටයුතු කරමින් තිබෙනවා. බලාගාර වෙන වෙනම දෙන්න යනවා නොවැම්බර් 01 වෙනිදා කියලා කියන්නේ ලංකා විදුලි බලමණ්ඩලය ස්ථාපිත කරලා 54 වැනි සංවාස්සරය. එදිනට අපි සියලු සේවකයින්ට කොළඹට එන්න කියලා තියෙනවා. දිවයින පුරා බලාගාර කාර්යාල සියලුම සේවකයෝ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දහවල් 12 ආරම්භ කරනවා.”

මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව හෙට පා ගමනක් සංවිධානය කර ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සඳහන් කර තිබෙනවා.

එමෙන්ම වැඩි කළ විදුලි බිලට එරෙහිව ඊයේ (30) රාත්‍රියේත් ප්‍රදේශ කිහිපයක පන්දම් රැගෙන ජනතාව විරෝධතාවල නිරත වූ බවටයි වාර්තාවන්නේ.

මේ අතර යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, අමාත්‍ය මණ්ඩලයේ නිරීක්ෂණය සහ අනුමැතිය සඳහා එම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි.

ඒ අනුව යෝජිත ප්‍රතිසංස්කරණයන් හරහා විදුලිබල මණ්ඩලයේ සේවාවන් විවෘත කර කාර්යක්ෂමතාව, විනිවිඳභාවය සහ තරගකාරීත්වය වැඩි දියුණු කිරීම මඟින් පෞද්ගලික අංශයට විදුලිබල සේවා සැපයීම සඳහා අවස්ථාව සැපයීම සිදුවෙන බවට සඳහන්වනවා.

අමාත්‍ය මණ්ඩලය විසින් යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අනුමත කිරීමෙන් අනතුරුව එය ගැසට් කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සංවර්ධන ආයතන සහ කර්මාන්ත පාර්ශවකරුවන්ගේ බලශක්ති සහ නීති විශේෂඥයින්ගේ සහය ඇතිව පසුගිය මාස 10 පුරා මෙම පනත් කෙටුම්පත සකස් කළ බව කංචන විජේසේකර අමාත්‍යවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button