පොහොට්ටු මන්ත්‍රීවරුන් ජනපතිට සහය දීම පිළිබඳ තීරණය අය-වැයෙන් පසු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් සහය දක්වනවාද නැද්ද යන්න පිළිබඳව ඉදිරි අය- වැයෙන් පසු තීරණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ, බත්තරමුල්ල නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයෙහි ඊයේ (25) පැවති විශේෂ සාකච්ඡාවකදී.
මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගිවී තිබෙනවා.
ඉදිරි අය-වැයෙන් සාමාන්‍ය ජනතාවට අනිවාර්යයෙන්ම, සහන හිමි විය යුතු අතර එසේ සහන හිමිනොවුණොත් ආණ්ඩුවට සහාය දක්වනවාද නැද්ද පිළිබඳ තීරණයකට එළැඹිය යුතු බවද මෙහිදී සාකච්ඡාවී ඇති බව වාර්තාවනවා.
ජනාධිපතිවරයා කළ කැබිනට් සංශෝධනය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවී ඇති අතර ආණ්ඩුව සමග දේශපාලන පක්ෂ කිහිපයක් මේ වනවිට සන්ධානගතව ඇති නිසා යම් කටයුත්තක් කරනවා නම් අනෙකුත් සහෝදර පක්ෂ හා සාකච්ඡා කර ඔවුන්ගේද අදහස් විමසනවා නම් එය යහපත් දෙයක් බවද මෙහිදී කරුණු ඉදිරිපත්වී ඇති බව පවසනවා.
ඇතැම් අය පවසන පරිදි රට සංවර්ධනය කිරීමට 2030 හෝ 2048 වනතුරු සිටිය නොහැකි බවද රටක් සංවර්ධනය කිරීමට එතරම් කාලයක් යනවා නම් රටක ආණ්ඩුවක් පවතින්නේ කුමකටද යන්න මෙහිදී කරුණු ඉදිරිපත්වී ඇති බවයි වාර්තාවන්නේ.
ජනාධිපතිවරයා කළ කැබිනට් සංශෝධනය පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් තම විරෝධය පළකර තිබෙනවා.
පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පඅවසන්නේ, ජනාධිපතිවරයා ආණ්ඩුව සම්බන්ධයෙන් ගන්නා කිසිදු තීරණයක් පිළිබඳ තමන් දැනුවත් නොකරන බවද ජනාධිපතිවරයා කරන්නේ සම්පූර්ණයෙන් වැරදි දෙයක් බවයි.
රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගම මහතාද එම කටයුතු සම්බන්ධයෙන් විරෝධය පළකර ඇති බව වාර්තාවනවා.
ඉදිරි අය-වැයේදී එම අය – වැය පරාජය කර ආණ්ඩුවට රතු එළියක් දක්වන්නට හැකි බව යම් පාර්ශ්වවලින් අදහස් ඉදිරිපත්වී ඇති නමුත් එයට සාධනීය ප්‍රතිචාරයක් දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කටයුතු කර නැති බවයි සඳහන්වන්නේ.
ඒ වෙනුවට ඉදිරි අය – වැයේදී ජනතාව ලැබෙන සහන පිළිබඳ සලකා බලා පක්ෂය තීරණයක් ගත යුතු බව එහි ජ්යෙයෂ්ඨ මන්ත්‍රීවරුන් තීරණය කර තිබෙනවා.
මේ පිළිබඳ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත සමගද සාකච්ඡා කර ඉදිරි මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී තවදුරටත් ජනතාවට සහන දීම පිළිබඳ ජනාධිපතිවරයාට කරුණු දැක්වීමටද පොදුජන පෙරමුණ තීරණය කර තිබෙන බවයි සඳහන්වන්නේ.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමටද කටයුතු කරන බවයි.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව පැවති පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසන්නේ, හැට නව ලක්ෂයක් ඡන්දය ගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ලක්ෂයක් පමණවූ අරගලයකට බියවූ බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරින් අස්වීමට සිදුවූයේ එම නිසා බවත්, රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණියේ අරගලය නිසා බවටයි.