දේශීය

රටගිය නර්ස්ට මාස 3ක් පඩි දාලා

හතරලියද්ද ග්‍රාමීය රෝහලේ රාජකාරි කළ හෙද නිලධාරිනියක් රාජකාරි නිවාඩු හෝ කිසිදු දැනුම්දීමකින් තොරව විදේශ ගතවීමෙන් පසුත් මාස තුනක කාලයක් ඇයගේ මාසික වැටුප් ගිණුම්ගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම හෙද නිලධාරිනිය තෙල්දෙණිය රෝහලේ සිට අනුයුක්තියක් යටතේ හතරලියද්ද ග්‍රාමීය රෝහලට මාරුකර යවා ඇති අතර ඇය එහි සේවය කරන අතරතුර රැකියාවක් සඳහා සිංගප්පූරුවට ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.

ඇය එසේ ඉකුත් මාර්තු මාසයේදී සේවය අතහැර විදේශගතවී ඇති අතර, ඇය එසේ විදේශගතවන බවට රෝහල් පරිපාලනයට හෝ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ට කිසිදු දැනුම්දීමක් සිදුකොට නොමැති බවද වාර්තා වනවා.

ඇය විදේශ ගතවීමෙන් පසුත් මාස තුනක කාලයක් එම හෙද නිලධාරිනියට ලක්ෂ දෙකහමාරකට ආසන්න මුදලක් වැටුප් වශයෙන් ගිණුම් ගත වීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතාගේ මූලිකත්වයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button