දේශීය

‘ශියෑන්’ නිසා ශ්‍රී ලංකාව  චීන-ඉන්දු ආතතීන්ට  මැදි වෙයිද?

ඔක්තෝම්බර් මාසයේදී සමුද්‍ර පර්යේෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන චීන පර්යේෂණ යාත්‍රාවක් වන SHI YAN 6 (IMO: 9904247) සඳහා අනුමැතිය ලබා දීමේ තීරණය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය ගැටලුකාරී තත්වයකට මැදිව තිබෙනවා.

චීනයේ භූ දේශපාලන  ප්‍රතිවාදියා වන ඉන්දියාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙහි  ක්‍රියාකාරකම් පිළිබඳව සැකයෙන් පසු වීම එයට හේතුවයි.

අදාළ චීන යාත්‍රාව ඔත්තු බැලීම සඳහා ශ්‍රී ලංකාවට පිවිසෙන බව සහ එය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින්  ඉන්දීය මාධ්‍ය ඔස්සේ විරෝධතා මතුවීම මෙම  තත්වය තවත් අර්බුදකාරී මට්ටමකට ගෙන යමින් පවතිනවා. 

චීනයෙන් පැමිණීමට නියමිත යාත්‍රාව  පර්යේෂණ / සමීක්ෂණ යාත්‍රාවක් වන අතර එය චීන ධජය යටතේ ක්‍රියාත්මක වන්නක්.  1115 DWT ධාරිතාවකින් යුතු එහි වර්තමාන ඉපිළුම් ගැඹුරෙහි මීටර් 5.3ක් වන අතර සමස්තයක් වශයෙන් දිග මීටර් 90.6 කින් සහ පළල මීටර් 17 කින් එය සමන්විත වෙනවා.  

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය (NARA) සමඟ එක්ව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ සිදුකිරීමට එය අපේක්ෂා කරනවා.

විදේශ අමාත්‍යාංශයේ වාර්තා සඳහන් කරන්නේ තවමත් නිශ්චිතව දක්වා නොමැති දිනයක මෙම නෞකාව ශ්‍රී ලංකා සාගර කලාපයට ඇතුළු කිරීමට අවසර දෙන ලෙස චීන තානාපති කාර්යාලය ඉල්ලීම් කර තිබුණත් ඒ සම්බන්ධයෙන් රජය තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.  

මෙම චීන යාත්‍රාව ඔක්තෝබර් 25 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බවත්, අවසර හිමි වීම මත නොවැම්බර් 10 වැනිදා දක්වා එය ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පවතින බවත් නාවික හමුදාව මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

එහෙත් එවැනි අවසරයක් චීන නෞකාවට ලබාදී ඇතිද යන්න තම පාර්ශ්වය නොදන්නා බවද නාවික හමුදාව පසුව පවසා තිබුණා.

චීනය සහ ඉන්දියාව යන ලෝක බලවතුන් දෙදෙනාගේ භූ දේශපාලන එදිරිවාදිකම් සමඟ කටයුතු කරන්නෙ කෙසේද යන්න පිළිබඳ උභතෝටිකයකට ශ්‍රී ලංකා රජය මැදිව සිටිනවා.

ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනය (NARA)  විදේශීය යාත්‍රා සමඟ ඒකාබද්ධව සාගර විද්‍යාව ආශ්‍රිත  පර්යේෂණ සම්බන්ධ කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ  කේන්ද්‍රස්ථානය වශයෙන් කටයුතු කරන ආයතනයයි.

අධ්‍යාපනික පර්යේෂණ සඳහා වූ චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ මධ්‍යස්ථානය සහ චීන විද්‍යා ඇකඩමිය අතර  අවබෝධතා ගිවිසුමක් (MoU) 2017 මැයි 25 දින අත්සන් කරන ලද අතර, චීනයේ පර්යේෂණ යාත්‍රා මෙයට ඇතුළත් වෙනවා.

වසර පහක වලංගු කාලයකට පසුව පසුගිය වසරේ මෙම ගිවිසුම අවලංගු වී තිබෙනවා.

මේ අතර, අවබෝධතා ගිවිසුම ස්වයංක්‍රීයව තවත් වසර පහකට දීර්ඝ කළ හැකි බවට යෝජනා කර ඇති වගන්තියක් නොසලකා හරිමින් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය එහි චීන පාර්ශ්වයට දැනුම්දී ඇත්තේ, තමන් නව සංශෝධිත අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට අදහස් කරන බවයි.

ආරංචි මාර්ග පවසන්නේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය මෙම යාත්‍රාව සමඟ එක්ව  පර්යේෂණ සිදු කිරීමට උනන්දු වන අතරම එය රට තුළට පිවිසීමට  ඉඩ දිය යුතු බව අවධාරණය කරන බවයි.

ටොන් 4000ක් බරැති ගැඹුරු සාගර විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් වන මෙම යාත්‍රාව භූ භෞතික ගවේෂණය, සාගර විද්‍යාව, සමුද්‍ර භූ විද්‍යාව සහ පරිසර විද්‍යාව හැදෑරීමට අමතරව, ගොඩබිම පදනම් වූ රසායනාගාරවල විශ්ලේෂණය කළ හැකි සාම්පල එක්රැස් කිරීමට සමත් වනවා.

එම යාත්‍රාව සමඟ පර්යේෂණ කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙහි ඉහළ නිලධාරියෙක් ඩේලි මිරර් පුවත්පත වෙත  මෙසේ අදහස් පළ කර තිබුණා.

“අපට සමුද්‍රීය පරිසරය පිළිබඳ තනිව පර්යේෂණ සිදු කිරීම අසීරු කටයුත්තක්, එය ලෝකයේ සෙසු රටවල් සමඟ සහයෝගී ප්‍රයත්නයක් දැරීමට අවශ්‍ය ක්ෂේත්‍රයක් බව,”

කෙසේවෙතත් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වාදෙන්නේ මෙම යාත්‍රාවේ පවතින බුද්ධි තොරතුරු රැස් කිරීමේ හැකියාවන් පිළිබඳ ඉන්දියාවේ නිරීක්ෂණයන් බැහැර කළ නොහැකි බව‍යි.

ඉන්දියාවේ අත පෙවීම් නොතකා චීනය ද පර්යේෂණ දියත් කිරීමට උනන්දු වන බව තවත් තොරතුරු මූලාශ්‍රයක් පළ කර තිබූ අදහසක්.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඉන්දියාව සහ චීනය  සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීම  අපේක්ෂා කරන මොහොතක මෙවැනි තත්වයක් උද්ගතව තිබීම ශ්‍රී ලංකාවේ අනාගතයට බලපෑම් කරන කාරණාවක් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button