විශේෂාංග

මහ බැංකුව දැන් කරන්නේ නිවට මර්දනකාරී වැඩ-වෘත්තීය සමිති

වෘත්තීය සමිති හා සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් පසුගියදා (28) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම මූලික කරගෙන, අර්ථ සාධක අරමුදල (EPF/ETF) සහ අනෙකුත් විශ‍්‍රාමික අරමුදල් විනාශ කිරීමට රජය සහ ශ‍්‍රී ලංකා මහ බැංකුව කරන ජනතා විරෝධී උත්සාහයට විරෝධය පළ කරනු ලැබුවා.

පැහැර හරින ලද බදුවල වර්තමාන වටිනාකමට සාපේක්ෂව බදු පැහැර හරින්නන් සතු බැඳුම්කර කප්පාදු කර තැන්පතු රජයේ භාරයට ගන්නා ලෙසත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුව 2022 අවසානය වනවිට නොගෙවා පැහැර හරින ලද බදුවල මුළු වටිනාකම, රුපියල් බිලියන 904 ක් බවත්, ඔවුන් ප්‍රකාශ කළා.

බැඳුම්කර හිමියන්ට ඉහළ පොළී ලබා දෙන කාල සීමාව තුළ, පැහැර හරින ලද බදු වල වර්තමාන වටිනාකම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා ඇති අතර, බදු නොගෙවූ පිරිසගේ බැඳුම්කර කපා හැරීමෙන් සහ ඔවුන්ගේ තැන්පතු අත්පත් කරගැනීමෙන් ආණ්ඩුවට EPF සහ ETF කපා හැරීමෙන් ඉතිරි කිරීමට අපේක්ෂා කරන මුදල මෙන් තුන් ගුණයක් ඉතුරු කිරීමට ඉදිරි වසර 16 තුළ ඉඩ සැලසෙන බව ඔවුන් වැඩිදුරටත් සදහන් කළා.

ජාත්‍යන්තර වෙළෙඳාමේදී සාවද්‍ය ඉන්වොයිසි හරහා විදේශගත කරන ලද ඩොලර් බිලියන 53 ක අරමුදල් ආපසු මෙරටට ගෙන්වා ගැනීමට වෝහාරික විගණනයක් කරන ලෙසත්,  2009 සිට 2018 දක්වා කාලය තුළ ජාත්‍යන්තර වෙළඳාමේ සාවද්‍ය ඉන්වොයිසි කිරීම හරහා රටට ඇ.ඩො. බිලියන 40කට අධික මුදලක් අහිමි වී ඇති බව Global Financial Integrity අනාවරණය කර ඇති බවද ඔවුන් සදහන් කළා.

2017 වන විට රජය ලබාගෙන ඇති විදේශ ව්‍යාපෘති ණය හා සසඳන විට රටේ ඉතිරිව ඇති දේශීය වත්කම්වල වටිනාකම සැලකිය යුතු ලෙස අඩු වී තිබූ බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ හෙළි කළ බවත්, මෙයින් පෙනී යන්නේ දූෂිතයින්ට දේශපාලන සංස්ථාපිතයක් සහ බලයේ සිටින්නන් සමග සමීප සම්බන්ධතා පවත්වන ව්‍යාපාරික ප‍්‍රභූන් පොහොසත් කිරීම සඳහා විදේශ ණය විශාල වශයෙන් ගසා කා ඇති බවත්, ඔවුන් ප්‍රකාශ කළා.

ආයෝජන මණ්ඩලයේ (BOI) සමාගම්වලට ලබා දී ඇති බදු සහන ඉවත් කරගන්නා ලෙසටද, ඔවුන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත්, පසුගිය 28 වැනිදා විරෝධතාකරුවන් මැඩපැවැත්වීමට සහ විසුරුවා හැරීමට උසාවි වාරණ නියෝගයක් ලබාගෙන තිබුණු අතර, එම වාරණ නියෝගය අනුව වෘත්තීය සමිති නායකයන් ගණනාවකට මහබැංකුව පැවති ප‍්‍රදේශයට ඇතුළුවීම පවා සීමා කර තිබුණා.

ඉතුරුම් විනාශ කිරීමට මහ බැංකුව දරන ප‍්‍රයත්නයට අභියෝග කිරීමට වෘත්තීය සමිති නැඟී සිටින විට වෘත්තීය සමිතිවලට හානි කිරීමට හා අවමන් කිරීමට පොලීසිය කැඳවා අධිකරණ වාරණ නියෝග ලබා ගැනීමේ නිවට සහ මර්දනකාරී ක‍්‍රියාමාර්ග වලට මහ බැංකුව එළඹීම ලැජ්ජාවක් බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button