විශේෂාංග

ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

“ආත්මයෙන් ආත්මයේ මා ඔබේ වේවි නම්” යන ගීතය ඇතුළු තවත් ජනප්‍රිය ගීත රැසකින් රසිකයන් පිනවූ ප්‍රවීණ ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා පෙරේදා (06) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී අභාවප්‍රාප්ත වුණා.

මිය යන විට 60 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා දියණිවරුන් දෙදෙනකුගේ හා එක් පුතකුගේ ආදරණීය පියාණන්දවනවා.

කර බඳින රත්තරං, සුසුම වී මගේ, හිම මීදුම් වලාකුළේ, මුතු කඳුලින්, පෙම් ලොව දුක්ගිනි, සුරඟනක් කඳුළු සලා, සුසුමන් පාවී, පාවී සිතුවිලි, සිත මා හඬ හඬා, සුරදූතියෝ, නිල් නුවන් පියවිලා, පාරදීසයේ ඈ හා යාවෙලා, ආදරේ සුවේ නෑ ලබාලා, අවන්හලේ මා, කඳුලක් දෙවන්නද, කෝකිල වසන්තේ ඇතුළු තවත් ගීත රැසක් ඔහු ගායනා කර ඇති අතර එම ගීත 90 දශකයේ රසික ජනතාව අතරේ අතිශයින් ජනප්‍රිය වුණා.

1992 වසරේදී ඔහුගේ මුල්ම කැසට් පටය වන ‘මුතු කඳුළු සලා’ කැසට් පටයද, ඉන් අනතුරුව ‘කෝකිල වසන්තේ’ කැසට් පටයද එළි දක්වනු ලැබූ අතර එම කැසට්පට එදා ශ්‍රාවකයන් අතර ඉතා ජනප්‍රියත්වයට පත්වුණා.

අතුල ශ්‍රී ගමගේ ප්‍රවීණ ගායන ශිල්පියා පෙරේදා කඩුවෙල කොතලාවල නිවසේ සිටියදී හදිසි රෝගී තත්ත්වයක් මත පෙරේදා පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු මියගොස් තිබෙනවා.

සිය කල්‍යාණ මිතුරාගේ හදිසි වියෝවෙන් කම්පාවට පත්වී සිටින ප්‍රවීණ ගායන ශිල්පී කුමාරසිරි පතිරණ මහතා දැක්වූ අදහස්,

“මාත් එක්ක අවුරුදු 15 ක් එකට හිටපු යාළුවා. අතුලට මොකක්ද වුනේ කියලා හිතාගන්න බැහැ. මෙයා හැමදාම මට කෝල් කරනවා. දුක සැප අහනවා. ඒත් ඊයේ උදේ එයා කෝල් කළේ නැහැ. හවස කෝල් එක ආවා. එයාගේ හෑන්ඩ්ෆෝන් නම්බර් එක දැක්ක ගමන් මම සතුටු වුණා. ඒකට ආන්සර් කරන කොට කතා කළේ අතුලගේ පුතා. පුතා කියපු දෙයින් මම දැඩි කම්පනයට පත්වුණා. මේක හීනයක් වගේ.

“තව දින කීපයකින් අපි දෙන්නට කලාභූෂණ සම්මාන ලැබෙන්නත් තිබුණා. ඒ ගැනත් අපි කතා කළා. එහෙම තියෙද්දී අතුල අපිව දාලා ගියා. හරිම අහිංසක, මනුස්සකම පිරුණු කෙනෙක් තමයි අතුල කියන්නෙ. පුදුම විදිහට කොලිටීස් තියෙන රත්තරං මනුස්සයෙක්”.

මේ අතර අතුල ශ්‍රී ගමගේ මහතාගේ මරණය සම්බන්ධයෙන් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී ඊයේ (07) සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී මරණයට හේතුව සොයාගත නොහැකි වීම හේතුවෙන් විවෘත තීන්දුවක් නිකුත් කළ බව මහරගම හදිසි මරණ පරීක්‍ෂක සාම විනිසුරු ඩග්ලස් රූපසිරි මහතා පවසනවා.

අතුල ශ්‍රී ගමගේ මහතාගේ ශරීරයේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යැවීමට එහි සාම්පල් ලබාගෙන ඇති බවද එහි සඳහන් කාළා.

අතුල ශ්‍රී ගමගේ මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී චමාලි අබේසේකර මහත්මිය විසින් සිදුකර තිබෙනවා.

ඒ අනුව අභාවප්‍රාප්ත අතුල ශ්‍රී ගමගේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නොවැම්බර් 09 වැනි බ්‍රහස්පතින්දා සවස 3.00 ට මාලඹේ තලාහේන පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button