උත්තර්කාන්ඩ් සිරවූ සේවකයන් 41 දෙනා මුදා ගැනීමේ අවසන් අදියරට

මීට දින 11කට පෙර ඉන්දියාවේ උත්තර්කාන්ඩ් ප්‍රාන්තයේ ඉදි කරමින් තිබුණු උමං මාර්ගයක් නාය යෑමෙන් එහි සිරවූ සේවකයන් 41 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම අවසන් අදියරට ළඟාවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
උත්තර්කාන්ඩ් ප්‍රාන්තයේ උත්තර්කාසි දිස්ත්‍රික්කයේ පිහිටි ධර්සු නගරයේ දකුණු පළාතේ සිට උතුරු පළාත දක්වා කිලෝමීටර් 5කට ආසන්න දුර ප්‍රමාණයකින් සමන්විත එම උමං මාර්ගයේ ප්‍රවේශ දොරටුවේ සිට මීටර් 200ක් ඇතුළතින් පසුගිය 12 වැනිදා පෙරවරු 5.30ට පමණ නාය යෑම සිදුවී තිබුණා.
උමං මාර්ගය තවදුරටත් නාය යෑමේ අවදානම සැලකිල්ලට ගනිමින් මෙහෙයුම් කටයුතු ඉතා මන්දගාමීව සිදු කරන බවත්, බැකෝ යන්ත්‍ර සහ වෙනත් උපකරණ භාවිත කරමින් සුන්බුන් තුළින් නළ මාර්ගයක් සවි කිරීමට කටයුතු යොදා ඇති අතර, ඉන්දීය රජයේ ආපදා සහන බළකාය සමඟ පොලිසිය හා හමුදාව එක්ව දින 10ක් පුරා මුදා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටින බවයි වාර්තාවන්නේ.
එම සේවකයන් වෙත ළඟාවීමට තවත් මීටර් 12ක් ඉතිරිව ඇති බවයි තවදුරටත් වාර්තාවන්නේ.
ඒ සඳහා පැය 12ක කාලයක් ගතවනු ඇති බවද සහන සේවා බළකායේ නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම උමං මාර්ගයේ සිරවී සිටින සේවකයන්ට ඔක්සිජන්, වියලි ආහාර සහ ජලය සැපයීමට කුඩා නළ මාර්ග 3ක් සම්බන්ධ කර ඇති බවද වාර්තාවනවා.
මුදා ගැනීමට නියමිත උමං සේවකයන් වහා රෝහල්ගත කිරීම සඳහා ගිලන් රථ කිහිපයක් එම ස්ථානයේ රඳවා තබා ඇති අතර, ආසන්නතම රෝහලේ සියලු පහසුකම්වලින් සමන්විත ඇඳන් 41ක් ද, වෛද්‍ය කාර්ය මණ්ඩලයක්ද සූදානමින් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.