ගාසා සිවිල් වැසියන්ගේ ආරක්ෂාව ගැන අමෙරිකාවේ රාජ්‍ය ලේකම් අවධානයෙන්

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ සිවිල් ජනතාවට සිදුවන හානිය වළක්වා ගැනීමට ගනු ලබන පියවර ගැන සාකච්ඡා කිරීමට අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටෝනි බ්ලින්කන් ඊශ්‍රායලයේ සංචාරයක නිරතවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉකුත් පෙරේදා ඊශ්‍රායලයට පැමිණි අමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරයා අගමැති බෙන්ජමින් නෙතන්යාහු මුණ ගැසී ඒ පිළිබඳ සාකච්ඡා කර ඇති අතර, අනතුරුව ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලයද හමු වී සාකච්ඡා පවත්වා ඇති බවයි.
ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානයේ ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එරට සංචාරය කළ සිවුවැනි අවස්ථාව මෙයයි.
මේ අතර අමෙරිකාවෙන් ඊශ්‍රායලයට ඩොලර් බිලියන 14.5ක යුද ආධාර සැපයීම සඳහා එරට පාර්ලිමේන්තුවේදි පනතක් සම්මත කර ඇති බව වාර්තාවනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම පනත සම්මත වූයේ ඡන්ද 226කට 196ක් ලෙස බවයි.
එමෙන්ම ඊශ්‍රායලයේ ඕනෑම දේශගුණික තත්ත්වයකට අනුකූල ගුවන් ආරක්ෂක පද්ධතිය වන ‘අයන් ඩෝම්‘ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන ඩොලර් බිලියන 4ක මුදලක්ද ඊට ඇතුළත් බව සඳහන්වනවා.
අමෙරිකාවේ නව කථානායක මයික් ජොන්සන් යටතේ ඡන්ද විමසීමට ගත් පළමු පනත මෙය වන අතර, ඔහු පසුගියදා ධවල මන්දිරයට සහ පාර්ලිමේන්තුවට එම පනත කඩිනමින් සම්මත කරන ලෙස ඉල්ලීමක් කර තිබූ බවද වැඩිදුරටත් සඳහන්.
ඡන්ද විමසීමට පෙර ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඉදිරි වසරවලදී අමෙරිකාව සහ මිත්‍ර රටවල ආරක්ෂාව සම්බන්ධව මේ පනත ඉවහල් වනු ඇති බවයි.