දේශීය

මෙර​ට කාන්තාවන්ගෙ​න් 40%ක් සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වෙ​ලා

මෙරට පවතින ආර්ථික අර්බුදයත් සමග කාන්තාවන් 40%ක් පමණ කාන්තා සනීපාරක්ෂක භාවිතයෙන් ඉවත්වී ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණවී තිබෙනවා.

එම සමීක්ෂණයෙන් අනාවරණවී ඇත්තේ සනීපාරක්ෂක තුවා සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවක්වී ඇති බවයි.

කොවිඩ් වසංගතයත් සමග පැනනැගුණු ආර්ථික අර්බුදය හේතුවෙන් සියලුම භාණ්ඩ සඳහා ගෙවිය යුතු මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් තිබුණා.

එය මෙරට පුරවැසියන්ගේ දෛනික ජීවිතයට දැඩි බලපෑමක් එල්ලකර ඇති අත​ර එමගි​න් ජනතාව​ට තම පරිභෝජනයට ගන්නා භාණ්ඩ ප්‍රමාණය සීමා කිරීමට සිදුවී තිබෙනවා.

පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය සිදුකළ නවතම සමීක්ෂණයක් එහි තවත් පැතිකඩක් පිළිබඳව අනාවරණ කර ඇති බවයි වාර්තාවන්නේ.

ඔවුන් පවසන්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් 40% ක් කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති බවයි.

එමගින් කාන්තාවකගේ ජීවවිද්‍යාත්මක චක්‍රයට ඇති කරනු ලබන බලපෑම අවධානය යොමු කළයුතු මට්ටමක පවතින බව එම සංවිධානය පෙන්වා දෙනවා.

මේ අතර සනීපාරක්ෂක තුවා සඳහා මෙරට අය කෙරෙන බදු රත්‍රං, සිල්ක්, ගොල්ෆ් පිති මෙන්ම කාලතුවක්කු සඳහා පනවා ඇති බදුවලටත් වඩා ඉහළ අගයක් ගන්නා බව Public Finance.lk වෙබ් අඩවිය පවසනවා.

බොහෝ භාණ්ඩ වැට් සහ සමාජ ආරක්ෂණ බදුවලට යටත් වුවත් සනීපාරක්ෂක තුවා වැට් බදු, වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු, සෙස් බදු, සමාජ ආරක්ෂණ බදු යන බදු වර්ග 4ටම යටත් වන බව එම වෙඩි අඩවිය පෙන්වාදෙනවා.

ඒ අනුව සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන බදු ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 47.1%ක් ලෙසයි සඳහන්වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button