විදෙස්

සටන් විරාමයක් නෑ-මේ යුද්ධයට කාලයයි -ඊශ්‍රායල අගමැති

ලොව විවිධ රටවල් විසින් කරනු ලබන සටන් විරාම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන අතර , මේ යුද්ධයට කාලය බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට ඊශ්‍රායල හමුදාව සිදු කරන මෙහෙයුම් පැසසුමට ලක් කරමින් එරට අගමැතිවරයා එම ප්‍රකාශය සිදු කළ බවයි වාර්තාවන්නේ.

එහිදී ඊශ්‍රායල හමුදාව තවදුරටත් ගාසා තීරයේ ඉදිරියටම යන බවත්, ඉන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට අවස්ථාව විවරවනු ඇති බව නෙතන්යාහු සඳහන් කර තිබෙනවා.

අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ, කිසිදු ජීවිත හානියකින් තොරව සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමට ඊශ්‍රායල හමුදාව කැපවී සිටින බවයි.

සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම ත්‍රස්තවාදයට හා ම්ලේච්ඡත්වයට යටත් වන ලෙසට කරන ඉල්ලීමක් බවද ඔහු අවධාරණය කර ඇති බව වාර්තාවනවා.

මේ අතර ඊශ්‍රායල – හමාස් යුද ගැටුමට සටන් විරාමයක් ලබා දිය යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විද්‍යා, නවෝත්පාදන හා තාක්ෂණ උප ඇමැති පෝල් බ්‍රිස්ටෝ එම තනතුරෙන් ඉවත් කිරීමට අගමැති රිෂී සුනාක් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය නිවේදනය කර ඇත්තේ, බ්‍රිතාන්‍ය රජයේ සාමූහික වගකීමේ මූලධර්මවලට අනුකූල නොවන අදහස් පළ කර ඇති බැවින් ඔහු උප ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට අගමැතිවරයා කටයුතු කළ බවයි.

ගාසා තීරයේ සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය ආධාර ලබා දීම සඳහා මානුෂීය සටන් විරාමයක් අවශ්‍ය බව අගමැති නියෝජනය කරන කන්සර්වේටිව් පක්ෂයෙහිම පීටර්බර්ග් ප්‍රදේශයේ මන්ත්‍රීවරයා වන පෝල් බ්‍රිස්ටෝ අදහස් පළ කර තිබුණා.

ඊශ්‍රායලයට සහාය පළ කරන බ්‍රිතාන්‍ය රජය සටන් විරාමයක් ලබා දීමේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බැවින් මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය රජයේ ප්‍රතිපත්තියට විරුද්ධ බවයි වාර්තාවන්නේ.

උප ඇමැති ධුරයෙන් ඉවත් කළ මන්ත්‍රීවරයා පසුව වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ එය කනගාටුවට කරුණක් වුවත් සිය ඡන්දදායකයන් වැඩි දෙනකු ගැඹුරින් සැලකිලිමත් වන ගැටලුවක් පිළිබඳ විවෘතව අදහස් පළ කිරීමට හැකියාව ලැබී ඇති බවයි.

එමෙන්ම එහිදී බ්‍රිතාන්‍ය රජයේ ප්‍රතිපත්තිවලට පෞද්ගලිකව එකඟ නොවූවද රජයේ සියලුම මැතිඇමැතිවරු ඊට ප්‍රසිද්ධියේ සහාය දීමේ සම්මුතියට බැඳී සිටින බව වාර්තාවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button