රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්

කළු ගඟ සහ අතු ගංගාවල ජලමට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු S.P.C සුගීෂ්වර මහතා පවසන්නේ, ඊයේ (27) දිනය පුරා ඇදහැලුණු වර්ෂාවත් සමග එම ප්‍රදේශවල ජනතාවට කල්පනාකාරී වන ලෙසයි.
රත්නපුර ජල මාපකයේ ජලමට්ටම මීටර් 6.5 දක්වා ඉහළ ගොස් ඇති බවත් මේ තත්ත්වය හේතුවෙන් රත්නපුරය ඇතුළු ඒ අවට ප්‍රදේශවලට ඉදිරි කාලයේ ගංවතුර අවදානමක් ඇති විය හැකි බවත් ඔහු සඳහන් කළා.
ඒ අනුව රත්නපුර, පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට, කිරිඇල්ල සහ ඇළපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ දෙපස ජනතාවට අද සහ හෙට දැඩි අවධානය යොමු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එමෙන්ම අද දහවල් කාලයේ සැලකිය යුතු වර්ෂාපතනයක් ඇති වුවහොත් මෙම තත්ත්වය දරුණු විය හැකි බව ද සුගීෂ්වර මහතා පවසනවා.
මේ අතර ගිං ගඟ සහ නිල්වලා ගඟෙහි ජලමට්ටම ද අවධානය යොමුකළ යුතු මට්ටමට ළඟා වී ඇති බවයි ඔහු සඳහන් කළේ.
එම ගංගා ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් මෙතෙක් ඇති විය නොහැකි වුවත් අද රාත්‍රීයේ හෝ දහවල් කාලයේ දී දැඩි වර්ෂාවක් ඇති වුවහොත් එම ගංගාත් පහසුවෙන් ගංවතුර තත්ත්වයක් දක්වා පත්වෙනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මීට අමතරව අත්තනගලු ද්‍රෝණිය සහ කැලණි ගඟත් ඉහළ ජලමට්ටම්වල සිටින බැවින් ජනතාවට ඒ පිළිබඳවත් සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙනු ලබනවා.