කලා

“The X Files” කතා මාලාවට වසර 30යි

“The Twilight Zone”, “Night Gallery”, “Tales from the Darkside”, “Twin Peaks”, සහ “Kolchak: The Night Stalker” වැනි බටහිර ටෙලිනාට්‍යකරණයේ අද්භූත කලාවේ පුරෝගාමීන්ගෙන් ආභාෂය ලබමින් කරළියට පැමිණි The X Files ටෙලිනාට්‍ය මාලාව, 2023 සැප්තැම්බර් 10 වන දිනට, සිය මංගල කතාංගය (pilot episode) රූපවාහිනියේ තිරගත කර වසර 30ක් සැපිරුණා.

1993 වර්ෂයේ සැප්තැම්බර් 10 වන දින ආරම්භවූ The X Files කතාමාලාව පරිච්ඡේද (seasons) 09ක් පුරාවට කතාංග (episodes) 202 ක් විකාශය වී අවසාන වන්නේ 2002 මැයි මස 19 වන දින වන අතර, ඒ වන විට 05 වන සහ 06 වන පරිච්ඡේද එකිනෙක සම්බන්ධ කරමින් 1998 වර්ෂයේ දී “The X Files: Fight the Future” නමින් වාර්තා බිඳ දැමූ හොලිවුඩ් චිත්‍රපටයක්ද නිකුත් වුණා.

ඉන් වසර කිහිපයකට පසු 2008 වර්ෂයේ දී “The X Files: I Want to Believe” නමින් ස්වාධීන කතාන්දරයක් ඇතුළත් හොලිවුඩ් චිත්‍රපටයක්ද නිකුත් කර තිබුණා.

ඉන් අනතුරුව දශකයකට ආසන්න නිහැඬියාවක් පවත්වා ගන්නා The X Files නිශ්පාදකයන් 2016 ජනවාරි 24 වැනිදා කතාංග 06 කින් සමන්විත වන “The Event Series” නම් දසවන The X Files පරිච්ඡේදයක්ද, 2018 ජනවාරි 03 වන දින කතාංග 10 කින් සමන්විත වන එකොලොස්වන The X Files පරිච්ඡේදයක්ද එළිදැක්වීම සිදුවුණා.

ඒ අනුව, සමස්ත කතාමාලව කතාංග 218 කින් සමන්විත වන අතර, The X Files කතාමාලාව පුරාවට මෝල්ඩර් සහ ස්කලී මුහුණ දෙන වෘත්තීමය හා පෞද්ගලික අරගල හමුවේ මුලු විශ්වයම ඔවුන්ගේ අත්දැකීම් විශ්වාස නොකරන සන්දර්භයක් තුළ, තම අවසන් හුස්ම හෙළන මොහොත දක්වා කොන්දේසි විරහිතව ඔවුනට සහාය ලබා දෙන “The Lone Gunmen” නම් කුමන්ත්‍රණ න්‍යායාචාර්ය පුවත්පතේ සංස්කාරකවරුන් තිදෙනා වන රිචර්ඩ් ලැංග්ලි, මෙල්වින් ෆ්‍රෝහිකී සහ ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් බයර්ස් ආශ්‍රිතව වෙනමම බිහිවූ “The Lone Gunmen” නම් කතාංග 13ක කෙටි ටෙලිනාට්‍යමාලාවක් (spinoff series) ද ඔවුන් සතුව තිබෙනවා.

මීට අමතරව, The X Files ඇසුරින් බිහි වූ චිත්‍රකතා එකතු, පරිගණක වීඩියෝ ක්‍රීඩා ආදී වෙනත් රසාස්වාදය ගෙන එන නිමැවුම් රාශියක්ද පවතිනවා.

පිටසක්වල ජීවීන් ලොව ආක්‍රමණය කරන බවටත්, 1945 වර්ෂයේ පටන් ඇමරිකානු රජය පිටසක්වල ජීවීන් සමඟ ගනුදෙනු කරන බවටත්, ගෙතී ඇති කටකතා හා කුමන්ත්‍රණ න්‍යායන් ආශ්‍රිතව, සහ එක්සත් ජනපදයේ විවිධ අවස්ථාවන්වලදී පිටසක්වල යානාවලින් මිනිසුන් පැහැරගෙන ගියේ යැයි පවතින ජනප්‍රවාද ඇසුරින් The X Files කතාමාලාව නිර්මාණයවී තිබෙනවා.

මෙම අද්විතීය විද්‍යා ප්‍රබන්ධය දශක තුනක කාලයක් මුළුල්ලේ පරම්පරා තුනකට ආසන්න ප්‍රමාණයකට අයත් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් වීම පමණක් නොව, පසුකලක බිහිවූ අතිශයින් ජනප්‍රිය “Dark Skies” (1996–1997), “Millennium” (1996–1999), “Men in Black” (1997–2019), “Lost” (2004–2010), “Supernatural” (2005–2019), “The Middleman” (2008), හා “Project Blue Book” (2019) වැනි ටෙලිවෘතාන්ත හා චිත්‍රපටවලට ආභාෂය ලැබී තිබෙන්නේ The X Files කතාමාලාවෙන් බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණක්.

30 වසරකට පෙර “Dark Skies” (1996–1997), “Millennium” (1996–1999), “Men in Black” (1997–2019), “Lost” (2004–2010), “Supernatural” (2005–2019), “The Middleman” (2008), හා “Project Blue Book” (2019) නම් තරුණ වෛද්‍යවරිය සහ ෆොක්ස් මෝල්ඩර් නම් FBI පරීක්ෂකවරයා අතර ගොඩනැඟෙන සබඳතාව හා රසායනය කෙතරම් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තේ යැයි කිවහොත්, ඒ ආශ්‍රිතව බිහිවූ රසික ප්‍රවාද (fanfiction) අප්‍රමාණව පවතියි.

එමෙන්ම, වෛද්‍ය විද්‍යාත්මක දැනුම, නීතියේ ආධිපත්‍යය හා යුක්තිය ඉටු කිරීමට ඇති කැපවීම, වෘත්තීමය භාෂා හැසිරවීම සහ කාන්තා ජවය ආදී ඩේනා ස්කලී නම් චරිතය තුළින් රූපවාහිනී තිරය හරහා විදහා පෙන්වූ පෞරෂත්වය රසික ප්‍රජාවට කොපමණ බලපෑමක් එල්ල කලේද කිවහොත්, ඒ ඇසුරින් බිහිවූ “The Scully Effect” නම් ආචරණයක්ද පවතිනවා.

යක්ෂයන්, ප්‍රේතයන්, අමනුෂ්‍යයන්, දේවතාවුන්, නිරය හා දෙව්ලොව, සහ පිටසක්වල ජීවීන් ගැන සම්ප්‍රදායික කියවීමෙන් ඔබ්බට යමින් වාද කිරීමට Gen-X, Gen-Y සහ Gen-Z පරම්පරාවලට හුරුකරවන ලද්දේ The X Files කතාමාලාවයි.

ප්‍රසිද්ධියට පත් කිරීමට රජය පවා බිය දක්වන, පැහැදිලිකළ නොහැකි සංසිද්ධි (unexplained phenomena) සහ අත්භූත සිදුවීම් ඇමරිකානු රජයේ අනුග්‍රහයද ඇතිව ගවේෂණය කිරීම මෝල්ඩර් සතු කාර්යභාරය වන අතර, එහිදී ආවරණය කිරීමට සිදුවන අපරාධ සහ නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන අවස්ථාවන් හමුවේ අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී ඊට අවශ්‍ය පිළිගත හැකි විද්‍යාත්මක පසුබිම සකස් කර දීම ස්කලී ගේ කාර්යභාරයයි.

ඒ ඇසුරින් නිර්මාණයවන විසඳුම් නොමැති විමර්ශනයන් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තා තැන්පත් කරනු ලබන්නේ කාර්යාල රාක්කයේ X නම් කාණ්ඩයේ බැවින් එවන් වාර්තා ‘X Files’ යනුවෙන් හැඳින්වුණා.

ෆොක්ස් මෝල්ඩර් ගේ චරිතයට සුපිරි හොලිවුඩ් රංගන ශිල්පී ඩේවිඩ් ඩිකව්නි පණ පොවන අතර, ඩේනා ස්කලීගේ චරිතයට පණ පෙවීම සිදු කරනු ලබන්නේ, සුපිරි හොලිවුඩ් රංගන ශිල්පිනී ජිලියන් ඇන්ඩර්සන්.

The X Files කතාමාලාව ක්‍රිස් කාටර්ගේ අද්විතීය ටෙලි / සිනමා නිර්මාණයක් වන අතර The X Files කතාමාලාවේ තේමා ගීතය ඇතුළු සංගීත සම්පාදනය මාර්ක් ස්නෝ විසින්.

The X Files ටෙලිනාට්‍ය මාලාව විකාශය වූයේ, එක්සත් ජනපදයේ ෆොක්ස් (Fox) නාලිකාව හරහායි.

“The Truth Is Out There” , “I Want To Believe” , “Deny Everything” , “Trust No One” , “Everything Dies” යනුවෙන් යතාර්ථය පිළිබඳ The X Files කතාමාලාව විසින් විටින් විට සිය පාඨක ජාලයට මතක් කර සිටි පණිවිඩයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button