ලංකාවට එරෙහි අමෙරිකානු බැංකු නඩුව මාස 6කට අත්හිටුවයි

ශ්‍රී ලංකාවට එරෙහිව හැමිල්ටන් රිසර්ව් බැංකුව අමෙරිකානු එක්සත් ජනපද අධිකරණයේ පවරා ඇති නඩුව මාස 6කට අත්හිටුවන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීම එම අධිකරණය පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සාන්ත කිට්ස් සහ නෙවිස්හි හැමිල්ටන් රිසර්ව් බැංකුව ඩොලර් මිලියන 250ක බැඳුම්කරයක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව මෙම නඩුව පවරා ඇති බවයි වාර්තාවන්නේ.
ලංකාව මේ සම්බන්ධයෙන් ඉල්ලා රැඳී සිටීම අවිනිශ්චිත නොවන බවත් ස්වෛරී සහ වාණිජ ණය හිමියන් සමග ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා පවත්වන අතර ශ්‍රී ලංකාව මෙම නඩු විභාගයේ මාස හයක නැවතීමක් අපේක්ෂා කිරීම සාධාරණ බවත් අධිකරණය පෙන්වාදී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අමෙරිකානු මාධ්‍ය පෙන්වාදී ඇත්තේ, මේ වන විට ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා පවත්වන අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව මෙම නඩු විභාගයේ මාස හයක නැවතීමක් අපේක්ෂා කරන බව අධිකරණයට වාර්තා කර ඇති බවද අධිකරණය සඳහන් කර ඇති බවයි.
එහිදී ආර්ථිකය කඩාවැටීම නැවැත්වීමට අරගල කරමින් සිටියදී ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව සිය ණය ගෙවීම පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාවට බැඳුම්කර හිමියෙකු අමෙරිකානු එක්සත් ජනපදයේ නඩු පවරන බවද සඳහන්වනවා.
ජූලි 25 වනදාට නියමිත ශ්‍රී ලංකාවේ සියයට 5.875ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250කට වඩා වැඩි මුදලක් හිමි හැමිල්ටන් රිසර්ව් බැංකුව තම මූලික හා පොලී මුදල සම්පූර්ණයෙන් ගෙවන ලෙස ඉල්ලා ඇමරිකානු එක්සත් ජනපදයේ මෙම නඩුව ගොනු කළා.
2012දී නිකුත් කරන ලද ඩොලර් බිලියන 1ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්ම්කර හි මූලික මුදලින් ඩොලර් මිලියන 250කට වඩා හැමිල්ටන් රිසර්ව් බැංකුව සතුව බවත් බැඳුම්කර කල් පිරෙන්නේ 2022 ජූලි 25 වනදාට බවයි වාර්තාවන්නේ.