මැතිවරණය වෙනුවෙන් ගොනුකළ පෙත්සම් දෙවන දිනත් විභාග කෙරේ

පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (30) දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබෙනවා.
ඉකුත් මාර්තු මස 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබුණා.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණි අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වුණා.
මෙහිදී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන කාලසීමාවේ මැතිවරණ කොමිසම විසින් නිකුත් කරනු ලබන විධානයන්ට අවනතව කටයුතු කිරීමට සියලු රාජ්‍ය සේවකයින් බැඳී සිටින බවයි.
එසේ තිබියදී පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා දින නියම කළ පසු අමාත්‍ය මණ්ඩලයේ තීරණ මත රාජ්‍ය වියදම් පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ජනාධිපති නීතිඥවරයා පවසනවා.
ජනාධිපති නීතිඥවරයා පවසන්නේ, මෙම චක්‍රලේඛය හරහා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම් කටයුතුවලට බාධා පැමිණි බවත් මෙම චක්‍රලේඛයට අනුකූලව කටයුතු නොකරන රජයේ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බවත් එහි සඳහන්ව තිබූ බවයි.
2023 වසරේ විසර්ජන පනත් කෙටුම්පත තුළින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10 කට ආසන්න මුදලක් වෙන්කර තිබියදී අදාළ චක්‍රලේඛය නිකුත් කොට මැතිවරණ කටයුතුවලට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නිකුත් නොකිරීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම්වලට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා තර්ක කර තිබෙනවා.