දේශීය

රිජ්වේ රෝහලේ මියගිය දරුවාගේ නිරෝගී වකුගඩුව අංශයට ලැබුණේ නෑ – විශේෂඥ වෛද්‍ය ශාන්තිනී ගුණරත්න

වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය තෙහැවිරිදි දරුවාගේ වම්පස වකුගඩුව පමණක් තම අංශය භාරයේ සුරක්ෂිතව තබා ඇති අතර නිරෝගී තත්ත්වයේ තිබූ බව කියන දකුණු වකුගඩුව තම අංශයට නොලැබුණු බව එම රෝහලේ වකුගඩු අංශය භාර විශේෂඥ වෛද්‍ය ශාන්තිනී ගුණරත්න මහත්මිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (08) පවසා තිබෙනවා.

එම දරුවාගේ මරණයට අදාළ සාක්ෂි විමසීම ඊයේ අධිකරණය හමුවේ පැවති අතර එහිදී බොරැල්ල පොලිසිය විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විශේෂඥ වෛද්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.

සාක්ෂි දෙමින් ඇය වැඩිදුරටත් පැවසුවේ, තම අංශය වෙත එවන ලද එම දරුවාගේ වම්පස වකුගඩුව ඇමෝනියා වතුරේ ගිල්වා තම අංශයේ සුරක්ෂිතව මේවන විට තබා ඇති බවයි.

රෝහලට ඇතුළත් කරන ලද එම දරුවාගේ දකුණු වකුගඩුව කිසිදු අසමානතාවකින් තොරව නියමිත ස්ථානයේ තිබූ බව දරුවාගේ රෝග තත්ත්වය සම්බන්ධයෙන් කළ වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මලිත් සමරසිංහ මහතා මීට පෙර සාක්ෂි දෙමින් අධිකරණය හමුවේ පවසා තිබුණා.

දරුවාගේ වම් වකුගඩුවේ ක්‍රියාකාරිත්වය සියයට නවයක් ලෙසත්, දකුණු වකුගඩුවේ ක්‍රියාකාරීත්වය සියයට අනූ එකක් ලෙසත් ක්‍රියාත්මකව තිබූ බවද රෝහල් අධ්‍යක්ෂවරයා සිය සාක්ෂිය මගින් වැඩිදුරටත් පවසා තිබෙනවා.

ශල්‍යකර්මයේදී සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් දරුවාගේ එක් වකුගඩුවක් ඉවත්ව ඇති බවට රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරන නමුත්, එක් වකුගඩුවක් පමණක් තිබූ බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවේ සඳහන්ව තිබීම අපැහැදිලි කාරණයක් බවද අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි වෛද්‍යවරයෙකු මෙන්ම නීතිඥවරයෙකු වන වයි.එල්.එම් යූසුප් මීට පෙර නඩු වාරයකදී අධිකරණය හමුවේ පවසා තිබුණා.

කොටහේන ප්‍රදේශයේ පදිංචි අම්දි ෆස්ලිම් නමැති තෙහැවිරිදි දරුවෙකු එසේ ගොස් තිබූ ඇති අතර තම දරුවාගේ මිය යාම සැක සහිත බවට ඔහුගේ මවුපියන් බොරැල්ල පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම නඩුව විභාගයට ගැනුණු බව සඳහන්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button