දේශීය

අනධ්‍යයන සේවක වර්ජනයෙ​න් විශ්වවිද්‍යාලවල දෛනික කටයුතු අඩාල වෙලා

වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල ඊයේ (12) පෙරවරු​වේ ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල දෛනික කටයුතු අඩාලවී තිබෙනවා.

අන්තර් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති මහා සම්මේලනය සඳහන් කළේ, මෙරට අධ්‍යාපන ක්‍රේෂ්ත්‍රවල දැවැන්ත කාර්යභාරයක් සිදු කරන විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට වැටුප් වර්ධක ලබා දෙන බවට රජය පොරොන්දු ලබාදී තිබුණත් වැටුප් වර්ධක ලබා දීම දිනෙන් දින කල් මැරීමට විරෝධය පා මෙම හදිසි වෘත්ති ක්‍රියාමාර්ගයට පිවිසි බවයි.

2016 වසරේ රාජ්‍ය සේවයේ කරන ලද වැටුප් සංශෝධනයේදී විශ්වවිද්‍යාල ක්‍රේෂ්ත්‍රවල අහිමිවූ 15%ක වැටුප් ප්‍රතිශතය ලබා ගැනීම, විශ්වවිද්‍යාල අධ්‍යයන සියලු පුරප්පාඩු පිරවීම, විශ්වවිද්‍යාල සේවක අර්ථසාධක හා විශ්‍රාම වැටුප් අරමුදල ආරක්ෂා කිරීම තම ඉල්ලීම් අතර වන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ සභාපති P.K රුවන් කුමාර මහතා පවසනවා.

මෙම සංකේත වර්ජනය සඳහා මෙරට විශ්වවිද්‍යාල 17ක 13,000කට අධික කාර්ය මණ්ඩලය එක්ව ඇති අතර මේ හේතුවෙන් විශ්වවිද්‍යාලවල සියලුම දෛනික කටයුතු අඩාලවී ඇති බවත් අධ්‍යාපන කටයුතු විභාග, පර්යේෂණ කටයුතු හා ප්‍රයෝගික සියල්ල සම්පූර්ණ කර නොමැති බවත් ඔහු සඳහන් කළා.

එහි​දී රුවන් කුමාර මහතා සඳහන් කළේ, මේ සඳහා රජයේ අවධානය යොමු නොවුණහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

එමෙන්​ම ඉල්ලීම් මුල් කර ගනිමින් විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග දිගින් දිගටම ගත්තත් මේ දක්වා ඒ සඳහා රජය යහපත් ප්‍රතිචාරයක් නොදක්වා ඇති බවත් වැටුප් අහිමි වීමට අදාළව කමිටු වාර්තා පදනම් කරගනිමින් කැබිනට් මණ්ඩල සංදේශ පවා ඉදිරිපත් කර ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාල වෘත්තීය සමිති බල මණ්ඩලයේ ලේකම් T.A.D සුරංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button