කෘෂි නිලධාරිනියගේ ඇස්වලට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරලා

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම සහකාර නිලධාරිනියක ලෙස සේවයේ නිරතව සිටි උපාධිධාරිනියක් හෝමාගම උසාවිය පාරේ නිවෙසකදී ඇගේ පෙම්වතා වන උපාධිධාරී කෘෂි නිලධාරියා විසින් ඝාතනය කර තිබෙනවා.
එම දේහය සම්බන්ධයෙන් කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණයවී තිබෙන්නේ, ඇගේ ඇස්වලට තියුණු ආයුධයකින් කිහිපවරක් ඇනීමෙන් පසු ගෙල කපා ඇති බවයි.
එම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ධම්මි ලුවිස් හේවා මහත්මිය විසින් නිකුත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ තියුණු ආයුධ ප්‍රහාර හේතුවෙන් ශරීරයෙන් අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් ඇය මරණයට පත්ව ඇති බවයි.
කෘෂිකර්ම සහකාර නිලධාරිනිය අතවරයට හෝ දූෂණයට ලක්ව නැති බවත් එම වාර්තාවේ සඳහන්වනවා.
සැකකරු ඇයව ඝාතනයට යොදාගත් සෙන්ටිමීටර 27ක් දිගැතිවූ සෙන්ටිමීටර 17 තියුණු තත්ත්වයේ පවතින පිහියක්ද පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.
පසුගියදා (07) මෙලෙස ඝාතනයට ලක් වූයේ කෘෂිකර්ම සහකාර නිලධාරිනියක ලෙස සේවය කළ ඇහැලියගොඩ ගැටහැත්ත අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන විජේතුංග මුදියන්සේලාගේ අචිනි තුෂාරා විජේතුංග නමැති 31 හැවිරිදි අවිවාහක තරුණියක්.
ඝාතනයට ලක්වූ තරුණිය එදින සේවය නිම කර සිය මවට ඇමතුමක්දී ඉක්මනින් නිවෙස වෙත පැමිණෙන බවට පවසා ඇති බවත් ඇගේ දුරකතන ක්‍රියාවිරහිතවී නිවෙසට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් නිවැසියන් විසින් ඇය පිළිබඳ තොරතුරක් නැති බවට ඇහැලියගොඩ පොලිසියටද පැමිණිල්ලක් කර තිබූ බව හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙක් පවසනවා.
එසේම සැකකාර ඝාතකයා සමඟ ඇය මාස හතරකට පමණ පෙර පෙම් සබඳතාවක් ආරම්භ කර ඇති අතර දෙපාර්ශ්වයම දැනුවත්ව ඉක්මනින් විවාහ වීමට අපේක්ෂාවෙන් සිට ඇති බවත් කළ විමර්ශනයේදී අනාවරණයවූ බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.
හෝමාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ දැනුම් දීම මත ඝාතනයට සම්බන්ධ සැකකරු කළුතර දකුණ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.