දේශීය

ක්ල​බ් වසන්ත ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 07 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 22 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරු​ණා.

සිදුවීමට අදාළව ඝාතනය සිදුවූ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු වන දුලාන් සන්ජුල නමැත්තා ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (09) අත්අඩංගුවට ගත්තා.  

එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු පවසා තිබුණේ එම ව්‍යාපාරය ආරම්භ කිරීමට ලොකු පැටී නැමැති අපරාධකරු තමන්ට රුපියල් ලක්ෂ 16ක මුදලක් අවස්ථා කිහිපයකදී ලබාදුන් බවයි.

එම මුදල ලබාදීමෙන් පසු ලොකු පැටී නැමැත්තා, ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තාට ආරාධනා කරන ලෙස දැනුම් දුන් බවත්, ඝාතන සැලසුමක් පිළිබඳ කිසිවක් දැන නොසිටි බවත් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු පාපෝච්ඡාරණය කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර වෙඩි තැබීමට පැමිණි කාර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන එන ලද සැකකරුවන් දෙදෙනෙකු, අපරාධය සිදු කිරීමට පෙර කාර් රථය රඳවාගෙන සිටි සැකකරුවෙකු සහ අපරාධය සිදු කිරීමෙන් පසු සැකකරුවන් පැන යාමට භාවිත කළ වෑන් රථය ඊට පෙර රඳවාගෙන සිටි සැකකරුද වනවා.

ව්‍යාපාරිකයකු වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත, ජුලි 08 වනදා අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයකදී සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණා.

එම අවස්ථාවේ එහි සිටි ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සැමියා වන නයන වාසුල නමැත්තාද මියගිය අතර කේ.සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිය, තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button