ශ්‍රී ලංකන් ගුවන් සේවය සමාව අයදියි

කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් තමන් කනගාටුව පළ කරන බව වරාය සහ සිවිල් ගුවන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, ගුවන් යානා ප්‍රමාද වීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා ගුවන් සේවා අධිකාරීයේ පරිපාලන නිලධාරීන් සහ සියලු වෘත්තීය සමිති නියෝජිතයන් සමග එළඹෙන සඳුදා සාකච්ඡාවක් පවත්වන බවයි.
මෙහිදී සංචාරකයන්ට මෙන්ම සියලු මගීන්ට සිදුවූ අපහසුතා පිලිබඳ සමාව අයදින බව ශ්‍රී ලංකා ගුවන් සමාගමද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
පසුගිය කාලයේ ශ්‍රී ලංකන් ගුවන් යානා කාර්මික දෝෂයන්ට ලක් වීම සහ ප්‍රමාදයන්ට ලක් වීම දිගින් දිගටම වාර්තා වී තිබූ අතර ඒ සඳහා ප්‍රධාන හේතුව ලෙස දක්වා තිබුණේ ගුවන් සේවය සතු යානා ප්‍රමානවත් නොවීමයි.
ගුවන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ, දෛනික ගුවන් ගමන් මෙහෙයුම් සඳහා ගුවන් යානා 24 ක් අවශ්‍ය වුවද දැනට ක්‍රියාකාරී මට්ටමේ ධාවන කටයුතුවල නිරත වන්නේ ගුවන් යානා 20 ක් පමණ බවයි
මීට අමතරව ශ්‍රී ලංකන් ඉංජිනේරු අංශයේ සේවයේ නිරත ඇතැම් පිරිස් ඉන් ඉවත්වී විදෙස් ගතවී ඇති අතර ඉතිරි සේවකයින් එම රාජකාරි කටයුතු ආවරණය කිරීම සඳහා යොදවා තිබෙන බව ගුවන් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී වාර්තා වන්නේ, එම අංශයට අවශ්‍ය බල පත්‍ර ලාභී ඉංජිනේරුවන් 160 ක් පමණ වූවත් දැනට සිටින ඉංජිනේරුවන් සංඛ්‍යාව 125 ක් බවයි.
මෙවන් පසුබිමක සිංගප්පූරුව, පාකිස්තානය, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල් වෙත පිටත්ව යාමට තිබූ ගුවන් යානා පැය ගණනාවක් ප්‍රමාදවී තිබුණා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් ගමන් කිහිපයක් අවලංගු කිරීමට සිදු වූයේ තාක්ෂණික ගැටලු කිහිපයක් නිසා බවයි.