දේශීය

ඉදිරි ජනාධිපතිවරණයේදී නිදහස් පක්ෂයේ සහය රනිල්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයෙන් ඉවත් කිරීම එළඹෙන ජනාධිපතිවරණයේදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව සහාය දැක්වීමට නිදහස් පක්ෂයට ඇති බාධා ඉවත් කර ගැනීමේ උපායමාර්ගික පියවරක් ලෙස පෙනී යන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මීළඟ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දැක්වීමේ අදහසට දයාසිරි ජයසේකර මහතා විරුද්ධ වී ඇති අතර  ඒ වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනත් අපේක්‍ෂකයකුගේ නායකත්වයෙන් යුත් සන්ධානයක කොටසක් නොවී මැතිවරණයට සහභාගි විය යුතුය යන ස්ථාවරය ඔහු ඉදිරිපත් කර තිබෙනවා.

ආරංචි මාර්ග පවසන්නේ දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් නෙරපීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ ඇමති ධූර දරන මන්ත්‍රීවරුන් මූලික වී ඇති බවයි.

දේශපාලන පක්ෂයක විධිමත් තීන්දු තීරණවලට බලය පවරන්නේ මහලේකම්වරයා වන අතර වෙනත් පක්ෂයක්  හෝ සන්ධානයක් සමඟ කිසියම් එකඟතාවයකට එළඹීමේදී පවා ඔහුගේ අත්සන ප්‍රධාන වෙනවා

පක්ෂයේ තීරණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනුවත් කිරීමේ බලයද මහලේකම්වරයා සතු වෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන අය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම සඳහා  නිමල් ලාන්සා මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වන කණ්ඩායම සමඟ සමීපව කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු කිරීමට අවශ්‍ය අය තමා ධූරයෙන් ඉවත් කිරීම පිටුපස සිටින බවට ජයසේකර මහතා මීට පෙර චෝදනා කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button