දේශීය

උඩප්පු​වේ පොලිසියේ SIගේ වැඩ තහනම්

පුද්ගලයන් දෙදෙනෙකුට පහරදීමක් සම්බන්ධයෙන් උඩප්පුව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

එම උප පොලිස් පරීක්ෂකවරයා ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු සමග සිවිල් පුද්ගලයන් දෙදෙනකොට පහර දුන් බව පවස​න සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් උඩප්පුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇප මත මුදාහැර තිබෙනවා.

මාර්තු 5 වනදා රාත්‍රියේ උඩප්පුව පොලිස් වසමේ උඩප්පුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු සමග ඇතිවූ බහින් බස්වීමක් හා පහරදීමක් සම්බන්ධයෙන් වාර්තා වුණා.

එහිදී උප පොලිස් පරීක්ෂකවරයා සහ අනෙක් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා උඩප්පුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා උප පොලිස් පරීක්ෂකවරයා පුත්තලම රෝහලටත් අනෙක් පුද්ගලයා හලාවත රෝහලටත් මාරු කර යවා තිබෙනවා.

ගැටුම සිදුවන අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයාගේ මෝටර් රථය තුළ තවත් සිවිල් පුද්ගලයින් කිහිපදෙනකු සිට ඇති බවද සිදුකළ විමර්ශනයේදී අනාවරණයවී තිබුණු බවයි වාර්තාවන්නේ.

ඒ අනුව එම රථයේ රියදුරු, මෝටර් රථයේ හිමිකරු , මෝටර් රථය හා අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට අයත් යතුරුපැදියක් සිද්ධියවූ දිනම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28ක් හා 58ක් වූ උඩප්පුව හා කොත්තන්තිවු ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර තුවාල ලැබු උප පොලිස් පරීක්ෂකයාද පුත්තලම රෝහලේ සිටියදී මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එලෙස අත්අඩංගුවට පත්වුයේ 33 හැවිරිදි නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (07) හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර අදාළ උප පොලිස් පරීක්ෂකවරයාව පුත්තලම කොට්ඨාස භාර නිලධාරීවරයා විසින් අද (07) වැඩතහනමට ලක්කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button