පාසල් අවට දේශපාලන රැස්වීම් තහනම් – ජනපතිගෙන් නියෝගයක්

පාසල් සහ පාසල් පරිශ්‍ර දේශපාලන වේදිකා වශයෙන් භාවිත කිරීම තහනම් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් ආණ්ඩුකාරවරුන් වෙත දැනුම්දී තිබෙනවා.
ඊට අදාළව ජනාධිපතිවරයා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, විෂය භාර ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (05) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.
ඇතැම් පුද්ගලයන් පාසල් සඳහා පරිත්‍යාග, ආධාර ලබාදෙන මුවාවෙන් දේශපාලන රැස්වීම් පැවැත්වීමට කටයුතු කරන බවත් එම ක්‍රියාපිළිවෙත වළක්වන්නැයි දරුවන්ට ආදරේ කරන පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත්ව තිබූ යෝජනා සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹුණු බව අමාත්‍යවරයා සඳහන් කළා.
ඔහු පවසන්නේ, මෙරට ඉතිහාසය තුළ විවිධ රාජ්‍ය නායකයන් සහ දේශපාලනඥයන් කිසි විටෙකවත් පාසල සහ පාසල් භූමිය තමන්ගේ හෝ වෙනත් අයගේ දේශපාලනය සඳහා භාවිත නොකළ බවයි.
එහිදී බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්,
“පාසල් සහ පාසල් පරිශ්‍ර දේශපාලන වේදිකා වශයෙන් භාවිත කිරීම අත්හිටුවන්න, තහනම් කරන්න, නවත්වන්න කියලා ආණ්ඩුකාරවරුන්ට නියම කරන යෝජනාවක් ජනාධිපතිවරයා ඉදිරිපත් කළා.
අපේ රටේ ඉතිහාසය තුළ විවිධ රාජ්‍ය නායකයන් සහ දේශපාලනඥයන් කිසි විටෙකවත් පාසල සහ පාසල් භූමිය තමන්ගේ හෝ වෙනත් අයගේ දේශපාලනය සඳහා භාවිත කළේ නැහැ. විවිධ දානපතීන්, විවිධ පුද්ගලයන් විශාල පරිත්‍යාගයන් ලංකාවේ පාසල් පද්ධතියට කරලා තිබෙනවා. ඒ පාසල් පද්ධතියට ලබාදෙන ආධාර, පරිත්‍යාග වැළැක්වීමක් කරන්නේ නැහැ. ඒත් ඒ මුවාවෙන් දේශපාලන රැස්වීම් පවත්වලා ඒ දරුවන්ට දේශපාලනය සඳහා කැන්දන් යෑමේ ක්‍රියාපිළිවෙත වැළැක්විය යුතු බවට දරුවන්ට ආදරේ කරන අය විසින් යෝජනා ඉදිරිපත් කරල තිබෙන අතර ඒවා සියල්ල සැලකිල්ලට ගෙන පාසලේ දරුවන්ට නිදහසේ තමන්ගේ අධ්‍යයන කටයුතු කරගෙන යෑම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම විනා පාසල දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම තහනම් කරන්න පළාත්වල ආණ්ඩුකාරවරුන්ට, නියම කරන බවට යෝජනාවක් සම්මත වුණා.
මම මේ රටේ අධ්‍යාපන ඇමැතිවරයා සහ උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කරලා තිබෙනවා. ඒ කාලපරිච්ඡේදයෙන් පසුව හෝ එම කාලපරිච්ඡේදය තුළ කිසි විටෙකත් අප අපේ දේශපාලන මතයක් හෝ වෙනත් දේශපාලන කතාවක් කිරීම සඳහා පාසලවත් දරුවන් හෝ ගුරු සංවිධානවත් යොදා ගත්තේ නැහැ. අපට පෙර සහ පසුව හිටපු සියලු දේශපාලන නායකයනුත් පාසල දේශපාලන කටයුතු සඳහා භාවිත කළේ නැහැ. ඒ නිසා එය නොකළ යුතු දෙයක් ලෙස රජය සලකනවා.”