විදෙස්

ඉරානයෙන් පැය 24ක් තුළ රටවල් තුනක​ට මිසයිල ප්‍රහාර

ඉරාන විප්ලවවාදී ආරක්ෂක හමුදාව පැය 24ක් ඇතුළත රටවල් තුනකට මිසයිල ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සඳුදා මැදියම් රැයේදී උතුරු ඉරාකයේ පිහිටි ඊශ්‍රායල මොසාඩ් බුද්ධි ඒකකයේ ගොඩනැඟිල්ලක් ඉලක්ක කරමින් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ ඉරාන හමුදාව ඊට පැය කිහිපයකට පසු සිරියාවේ අයිඑස් ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

ඉරාකයේ එර්බිල් නුවර අමෙරිකානු කොන්සියුලර් කාර්යාලය අසල පිහිටි ඊශ්‍රායල මොසාඩ් බුද්ධි අංශයේ ගොඩනැඟිල්ලකට එල්ල කළ ප්‍රහාරයෙන් එම ගොඩනැඟිල්ල මුළුමනින්ම විනාශවී ඇති අතර, ඒ සඳහා බැලැස්ටික් මිසයිල 11ක් භාවිත කර ඇති බවයි වාර්තාවන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් සිව්දෙනකු මිය ගිය බව වාර්තා වන අතර, අයිඑස් ත්‍රස්තවාදීන් ඉලක්ක කරමින් උතුරු සිරියාවට එල්ලවූ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 6 දෙනකු තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම ඊයේ පාකිස්තානයේ බලුකිස්තානයේ ගම්මානයට ඉරාන හමුදාව තවත් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එහිදී කුඩා දරුවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත්, තවත් දැරියන් තිදෙනකු තුවාල ලැබූ බවත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි පාකිස්තානය ඉරාන හමුදාව සිය ගුවන් සීමාව උල්ලංඝනය කිරීම හෙළා දකින බව ප්‍රකාශ කර තිබෙනවා.

බලුකිස්තානයට එල්ල කළ මිසයිල ප්‍රහාරය ඉරානයේ පසුගිය කාලය තුළ බෝම්බ පිපිරීම් රැසකට සම්බන්ධ බවට සැක කරන ජයිෂ් අල් ආඩ්ල් ත්‍රස්ත සංවිධානය ඉලක්ක කරමින් සිදු කළ බව ඉරානය ප්‍රකාශ කර ඇති අතර, මේ ප්‍රහාර ත්‍රිත්වයම දැඩි විවේචනයට ලක් කර ඇති අමෙරිකාව එම ප්‍රහාර හෙළා දකින බව ප්‍රකාශ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button