ලලිත් කොතලාවලගේ මරණය පසුපස කණ්ඩායම් දෙකක් බවට සැකයක්

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මහතාව ප්‍රාණ ඇපයට රඳවාගෙන සිටි කණ්ඩායම් දෙකක සාමාජිකයන් පිරිසක් ඒ මහතාගේ දේපළ අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඔහු තවදුරටත් ජීවත් වීම අනවශ්‍ය පුද්ගලයෙකු බවට සිතා ඔහුට මරණයක් අත්පත් කර දීමට කටයුතු කර ඇති බවට තමන්ට සැකයක් පවතින බව කොතලාවල මහතාගේ බිරියගේ සොයුරියක වන සෙරින් පේෂන් ප්‍රනාන්දු මහත්මිය ඊයේ (06) ප්‍රකාශ කර තිබෙනවා.
ඇය මේ බව පවසා ඇත්තේ, කොතලාවල මහතාගේ මරණයට අදාළ සාක්ෂි විමසීම ඊයේ( 06) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා හමුවේ පැවති අතර එහිදී සාක්ෂි ලබාදෙමින්.
ලලිත් කොතලාවල මහතා අසනීපවූ අවස්ථාවේදී ඔහුව ළඟම පිහිටි පෞද්ගලික රෝහල වෙත රැගෙන නොගොස් නාරාහේන්පිට පෞද්ගලික රෝහල වෙත රැගෙන යාමට කටයුතු කිරීම පිළිබඳව සැකයක් මතුවන බවද ඇය පවසනවා.
ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ, කොතලාවල මහතාගේ මරණයට හේතුව යටපත් කිරීම සඳහා පෙර සඳහන් කළ කණ්ඩායම් හා බම්බලපිටිය පොලිසිය අතර උත්සහයක් තිබී ඇත්දැයි සැකයක් මතුවන බවයි.
කොතලාවල මහතා මුලින්ම අංක 28 එලිබෑන්ක් පාර, කොළඹ 5 ලිපිනයේ පදිංචිව සිටි බවද ඔහු මියයන විට අංක 13 ඩික්මන් පටුමග, කොළඹ 4 ලිපිනයේ පදිංචිව සිටි බවද ඇය පවසනවා.
සෙරින් පේෂන් ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරන්නේ, කොතලාවල මහතා අවසන් වරට රැඳී සිටි නිවසට ඔහුව රැගෙන ගියේ ඉහත කී කණ්ඩායම් බවයි.
එම නිවසට රැගෙන යාමෙන් පසුව කොතලාවල මහතා සමග කතා බස් කිරීමට ඔහු වටා සිටි කණ්ඩායම් පවුලේ ඥාතීන්ට ලබාදුන් කාලසීමාව සීමිත බවත් ඒ සඳහා නිරෝෂා ප්‍රියදර්ශනී නමැතියකගේ අවසරය ලබා ගැනීමට සිදුවූ බවයි ඇය සඳහන් කරන්නේ.
එසේ අවසරය ලබා ගෙන හෝ ඔහු සමග කතා කිරීමට ලැබුණු කාලය විනාඩි කිහිපයක් පමණක් බවත් ඔහුව බලන්නට ගිය ඇතැම් අවස්ථාවන්වලදී ඔහු මානසික තත්ත්වයෙන් ඉතා දුර්වලව සිටි බවද සෙරින් පේෂන් ප්‍රනාන්දු මහත්මිය පවසනවා.
ලලිත් කොතලාවල මහතාට එරෙහිව ගෝල්ඩන් කී සමාගමේ මුදල් තැන්පත් කිරීමට අදාළ නඩු කටයුතු ආරම්භ වීමෙන් පසුව ඔහුගේ ව්‍යාපාර කටයුතු උඩුයටිකුරුවූ බවද ඒ සම්බන්ධයෙන් ඔහු දැඩි මානසික පීඩාවකින් සිටින බවයි වාර්තාවන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස්ව පැමිණි අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියෙකු හා තවත් පොලිස් නිලධාරියෙකු කොතලාවල මහතාගේ නඩු කටයුතුවලට අවශ්‍ය සහය ලබා දෙමින් කටයුතු කළ බවද සඳහන්.
එමෙන්ම නීති විද්‍යාලයෙන් නීතිය හදාරා පැමිණි නීතිඥවරුන් තිදෙනෙකුද කොතලාවල මහතාගේ නිවසට පැමිණ ඔහුගේ හිත දිනා ගැනීමට විවිධ කටයුතු කර ඇති අතර මෙම කණ්ඩායම් දෙක දෙපාර්ශවයක් වශයෙන් කටයුතු කරමින් ඔවුන් කොතලාවල මහතාගේ දේපළ අත්පත් කර ගැනීමට කටයුතු කර ඇති බවද ඒ සම්බන්ධයෙන් අධිකරණවල නඩු පවා පවරා තිබුණු බවද ඇය පවසනවා.
කෙසේ හෝ පසුව දෙපාර්ශවයම සිය නඩු ඉල්ලා අස්කර ගනිමින් ඔවුන් එක කණ්ඩායමක් බවට පත්ව කොතලාවල මහතාගේ දේපළ නීති විරෝධී ආකාරයෙන් අත්පත් කරගෙන ඇති අතර කොතලාවල මහතා ළඟ වසර 30ක් 40ක් සේවය කළ සේවකයන් ඉවත් කිරීමට මෙම කණ්ඩායම් දෙක සූක්ෂ්මව කටයුතු කර තිබුණු බවත් කොතලාවල මහතාගේ නීතිඥ පවා ඔහුගෙන් ඉවත් කිරීමට එම කණ්ඩායම් කටයුතු යොදා ඇති බව ඇය සඳහන් කරනවා.
කොතලාවල මහතා අවසන් මොහොතේ රඳවා තිබූ ස්ථානයෙන් පිටතට යාමට පවා නොහැකි වන පරිදි ඔහු රඳවා සිටි නිවස අඳුරු පැහැ ගන්වා තිබූ බවද ඒ මහතා ඉතා සතුටින් සිටින බව පෙන්වීමට මෙම පුද්ගලයන් කටයුතු කර ඇතත් ඔහු රඳවා සිටි පරිසරය ඉතාම පීඩාකාරි පරිසරයක් වන අතර මේ පීඩාකාරී තත්ත්වය ඔහුගේ මනසට විශාල වශයෙන් බලපා තිබූ බවයි ඇය සඳහන් කළේ,
මෙය ස්වාභාවික මරණයක් නොව පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ක්‍රියාදාමයන් නිසා සිදුවූ මරණයක් බවට තමා තරයේ ප්‍රකාශ කරන බවද ඇය වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් සඳහන් කළා.