දේශීය

සෞඛ්‍ය ඇමති‌ගෙන් ලියාපදිංචි ඖෂධ පමණක් මෙරටට ගෙන්වීමට නිළධාරීන්ට උපදෙස්

ලියාපදිංචි ඖෂධ පමණක් මෙරටට ගෙන්වන ලෙසත්, ලියාපදිංචි ඖෂධ නොමැති අවස්ථාවලදී එවැනි ඖෂධ පිළිබද අවශ්‍ය දත්ත විමසා බලා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අනුමත කරගෙන මිලදී ගන්නා ලෙසත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අමාත්‍යවරයා මෙසේ උපදෙස් දී ඇත්තේ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව හා වෛද්‍ය සැපයුම් අංශය යන ආයතන වල නිලධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමඟ අද දින (01) සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුකල සාකච්ජාවකදී.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉහත ක්‍රමවේදයෙන් පරිබාහිරව යම්කිසි කෙනෙක් කටයුතු කරන්නේ නම් ඒ පිලිබදව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එමෙන්ම හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ මිලදී ගැනීම අත්හිටුවන ලෙසද, දැනට හිගව පවතින ඖෂධ ඉතා කඩිනමින් නියමිත ක්‍රමවේදය ඔස්සේ ගෙන්වීමට කටයුතු කරන ලෙසටද, අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බවට සඳහන්වනවා.

මෙරට ජනතාවගේ සුව සෙත ඉහළ නැංවීම අප සැමගේ ප්‍රමුඛ කාර්ය විය යුතු බව පෙන්වා දුන් අතර එය සාමුහිකත්වයෙන් සිදු කල යුතු කාර්යක් බවද ඔහු අවධාරණය කළා.

පිළිකා, වකුගඩු ආදි රෝග සදහා භාවිතා කරන අත්‍යවශ්‍ය ඖෂධ පිලිබදව අවධානය යොමු කරමින් එම ඖෂධ හිගතාවයකින් තොරව රට තුළ පවත්වාගෙන යාම සදහා දැඩි අවධානයකින් කටයුතු කරන ලෙසත්, සියලු ඖෂධ සදහා නිරන්තරයෙන් අවධානය යොමු කර සොයා බලා කටයුතු කරන ලෙසද සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අදාල නිලධාරීන් මෙහිදී දැනුවත් කර තිබෙනවා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය සමන් රත්නායක මහතා, ‍Y.L.M නවාවි, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් D.R,K හේරත් මහතා, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආන්නද විජේවික්‍රම මහතා, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගීවී තිබෙන බවටයි වාර්තාවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button