දේශීය

IMF යන්න චීන සහාය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීම සඳහා චීනයෙන් අප ලබාගත යුතු මූල්‍යමය ආරක්‍ෂණය (ෆයිනෑන්ෂල් ඇෂුවරන්ස්) හැකි ඉක්මණින් චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

එම ක්‍රමවේදයේ යම්කිසි ආකාරයක ප්‍රමාදයක් තිබිය හැකි නමුත් හැකි ඉක්මනින් චීනය එම සහතිකය ශ්‍රී ලංකාවට ලබාදෙනු ඇති බව දැනට තිබෙන සාකච්ඡා සහ ලැබෙන පණිවිඩ අනුව ප්‍රකාශ කළ හැකි බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.

ඒ සහතිකය චීනයෙන් හැකි ඉක්මනින් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව පැත්තෙන් හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද ආචාර්ය වීරසිංහ මහතා කීවා. චීනයේ එම මූල්‍යමය ආරක්‍ෂණ සහතිකය ලැබී ඊළඟ සති තුන හතර ඇතුළත අපගේ මූල්‍ය ආධාර වැඩසටහනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලබාගත හැකිවනු ඇති බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

චීනය මේ සඳහා සහාය දෙනු ඇතැයි අපේක්‍ෂා කරන අප දැන් සිටින්නේ එම ඉලක්කයේ බවත් එය පළමු පියවර බවද සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා කීවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය දෙවන පියවර සහ ඒ සඳහා කාලය තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button