දේශීය

හිරුණිකාගේ නඩුව නැවත කල් යයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය නොවැම්බර් මස 16 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.

එම නඩුව අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා වන අශාන් ප්‍රනාන්දු මහතා මේ දිනවල අසනීප තත්ත්වයෙන් පසු වන හෙයින් එම නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියා.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුව මුලින්ම 2017 වසර විභාගයට ගැනීමට නියම කළත් විවිධ හේතුන් නිසා දිනෙන් දිනම කල් ගොස් ඇතැයි පැවසුවා.

එම නිසා කෙටි දිනයක් ලබා දෙන ලෙස සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය ඉල්ලා සිටියා.

මෙහිදී විනිසුරු අමල් රණරාජා මහතා ද විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ එම නඩුවේ විභාගය දහතුන් වතාවක් පමණ කල් ගොස් තිබෙන බවය.

කෙසේ වෙතත් නඩුවේ විභාගය නොවැම්බර් මස 16 වන දා ට නියම කළ අධිකරණය එදින සාක්ෂිකරුට පෙනී සිටින ලෙස අවවාද කළා

2015 වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නැමැති තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව එම නඩුව ගොනුකර තිබෙනවා.

එම නඩුවේ විත්තිකරුවන් වශයෙන් කටයුතු කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් 8දෙනෙකු මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගැනීම හේතුවෙන් ඔවුන්ට අත්හිටවූ සිරදඬුවම් හා දඩ මුදල් නියම කිරීමට ද අධිකරණය මීට පෙර නියම තීරණය කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button