දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි. කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව, කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරනවා.
එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් පවසන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැකි බවයි.
අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක්ද ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සදහන් වනවා.
ඌව පළාතටත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.
එම දෙපාර්තුමේන්තුව පවසන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළංද ඇතිවිය හැකි බවයි.
තවද, පවතින අධික වැසි හමුවේ, රත්නපුර, කළුතර, ගාල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම්ද අද පස්වරු 4 දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනවා.
මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ නාය යෑමේ අවදානම මත බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් හතරක සිසු සිසුවියන්ට අවදානම පහව යනතුරු නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් ඊයේ (07) පියවර ගෙන තිබුණා.
මීට අමතරව කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන බගවන්තලාව මහඑලිය රක්ෂිතයට ඊයේ උදැසන සිට අධික වර්ෂාව පතිත විම හේතුවෙන්, බගවන්තලාව කොටියාගල වතු නිවාසවලට පිවිසෙන මාර්ග රැසක් ජලයෙන් යටවි තිබෙනවා.
තවදුරටත් කෙසෙල්ගමුඔයේ ජල පෝෂක ප්‍රදේශවලට වැසි පතිත වුවහොත් කෙසෙල්ගමුඔය දෙපස පදිංචිකරුවන් අවදානයෙන් සිටින ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ නිලධාරින් පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.