ඉන්දු – ශ්‍රී ලංකා ETCA ගිවිසුම යළි ගෙන ඒමට සාකච්ඡා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමේ (ETCA) 12 වැනි වටයේ සාකච්ඡා ඊයේ (01) කොළඹදී අවසන් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කර ඇත්තේ, දැනට පවතින ප්‍රධාන අපනයන වෙළෙඳපොළ පවත්වා ගනිමින්, අපනයන විවිධාංගීකරණය අවධාරණය කරමින් ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් සමඟ ඒකාබද්ධ වීමට ශ්‍රී ලංකාව එම ගිවිසුම හරහා අපේක්ෂා කරන බවයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික හවුල්කාරීත්වය වෙළඳාම සහ ආයෝජන යන දෙඅංශයෙන්ම දෙරටේ ආර්ථික වර්ධනයට ඉවහල් වනවා.
ප්‍රමුඛතා ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන පුළුල් ලෙස වැඩිදියුණු කිරීමේ අරමුණින්, 2023 ජූලි 29 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ETCA පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට දෙරටේම රාජ්‍ය නායකයෝ එකඟ වී තිබුණා.
ඒ අනුව, ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රධාන සාකච්ඡාකරු සහ වාණිජ දෙපාර්තමේන්තුවේ සම ලේකම් ශ්‍රී අනන්ත් ස්වරූප් මහතා ප්‍රමුඛ ඉන්දීය නිලධාරීන් 19 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ මෙම විස්තීර්ණ ගිවිසුම පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කරනු ලැබුවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, වාණිජ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ආයෝජන මණ්ඩලය නියෝජනය කරන ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායම, ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන සාකච්ඡාකරු කේ.ජේ. වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව (NTNC), විසින් මෙම සාකච්ඡා මෙහෙයවනු ලැබුවා.
භාණ්ඩ, සේවා, මූලාරම්භයේ රීති, වෙළෙඳ ප්‍රතිකර්ම, රේගු ක්‍රියා පටිපාටි සහ වෙළෙඳ පහසුකම් සැපයීම, වෙළෙඳාමට ඇති තාක්ෂණික බාධා, සනීපාරක්ෂක හා ශාක සනීපාරක්‍ෂක පියවර, නීතිමය සහ ආයතනික කටයුතු යන අංශ සම්බන්ධයෙන් මෙම සාකච්ඡා පවත්වා තිබෙනවා.
එසේම, ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙද ගිවිසුම (ISFTA) ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම සඳහා විශේෂ සැසියක්ද පැවැත්වුණා.