52 වැනි බංග්ලාදේශ සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවයට ආරක්‍ෂක ලේකම්වරයා එක්වෙයි

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඊයේ (21) දින පස්වරුවේ පැවැත්වුණු 52 වැනි බංග්ලාදේශ සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවයට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහාභාගී වුණා.
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අතිගරු Tareq Md Ariful Islam මැතිතුමා විසින් මෙම අවස්ථාවට සපැමිණි ආරක්‍ෂක ලේකම්වරයාව උණුසුම් අයුරින් පිළිගෙන තිබෙනවා.
මෙහිදී රැස්ව සිටි සම්භාවනීය අමුත්තන් අමතමින් ආරක්‍ෂක ලේකම්වරයා බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවන් අගය කළ අතර, තව දුරටත් එම සබඳතා ශක්තිමත් කර ගැනීමේ වැදගත්කමද අවධාරණය කළා.
තවද දෙරටෙහි හමුදා අතර පැවති සුහදත්වය සහ සහයෝගීතාවය ඔස්සේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට දෙපාර්ශවයම ගත් උත්සාහයන් පිළිබඳව මෙන්ම මුහුදු කොල්ලකෑම්, දෙරටේ ආරක්‍ෂව කෙරෙහි බලපාන වෙනත් අන්තර්ජාතික තර්ජන, ආපදා සහන මෙහෙයුම්වල වලදී දක්වනු ලබන අන්‍යොන්‍ය සහයෝගීතාව, මානුෂීය ආධාර, ද්විපාර්ශවික දැනුම හුවමාරුව සහ අන්‍යොන්‍ය අවබෝධය වර්ධනය කිරීමේ වැදගත්කම යනාදී කරුණු පිළිබඳවද ඔහු විසින් සිහිපත් කර තිබෙනවා.
උත්සවයේ පිළිගැනීමේ කතාව බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයෙහි ආරක්‍ෂක උපදේශක කොමදෝරු M Moniruzzaman විසින් සිදුකළ බවයි වාර්තාවන්නේ.
උත්සවය අතරතුර ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා විසින් මෙම උත්සවය සිහිකිරීමට ආරක්‍ෂක ලේකම්වරයා වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කර ඇති බව සඳහන්.
ඉන්දීය සහ නේපාල මහ කොමසාරිස්වරුන්, මාලදිවයින් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.