දේශීය

IMF ණය සඳහා අඛණ්ඩව සහාය දෙන බවට චීනය යළිත් කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහා ශ්‍රී ලංකාවේ ණය ඉල්ලුම් පත්‍රයට සහාය ලබාදෙන බවට චීනයේ අපනයන ආනයන බැංකුව සහතික වී ඇති බව චීනය යළි අවධාරණය කර තිබෙනවා.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් දෛනික මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර ඇත්තේ, චීනයේ අපනයන ආනයන බැංකුව විසින් ඊට අදාළ ලේඛන මුදල් අමාත්‍යාංශය වෙත භාර දී ඇති බවය.

ශ්‍රී ලංකාවේ කෙටි කාලීන ණය පහසුකම් ගෙවීම සඳහා වසර දෙකක කාලයක් ලබාදීමට එම එකඟතාව මගින් ප්‍රකාශ කර ඇති බව ඇය පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් පවසා ඇත්තේ, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් ඇතුළු වාණිජ ණය හිමියන්ට සහ බහුපාර්ශවික ණය හිමියන්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපරිම දායකත්වය ලබාදෙන ලෙස අඛණ්ඩව ඉල්ලා සිටින බවය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට චීනය අඛණ්ඩව සහාය ලබාදෙන බව ද ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග එක්ව ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමටත්, තිරසාර සංවර්ධනයක් ලබාගැනීමටත් ධනාත්මක කාර්යය භාරයක් ඉටුකිරීමට කටයුතු කරන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button