බිග්බෑෂ් තරඟාවලියේදී චමරි හොඳම ක්‍රීඩිකාව සම්මානයට පාත්‍ර වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් කාන්තා විස්සයි විස්ස තරඟාවලියේ හොඳම ක්‍රීඩිකාව සම්මානය දිනා ගැනීමට සමත්වී තිබෙනවා.
මෙවර බිග්බෑෂ් තරඟාවලියට විදෙස් ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේදී අවධානයට ලක් නොවූ 33 හැවිරිදි වමත් ආරම්භක පිතිකාරිනිය අවසන් මොහොතේදී සිඩ්නි තන්ඩර්ස් පිලට තෝරා ගනු ලැබුවේ පළමුව තෝරා ගත් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා මැරිසන් කේප් කණ්ඩායමට එක් නොවීම හේතුවෙන්.
ඉන් අනතුරුව ආපසු නොහැරුණු මෙම ප්‍රහාරාත්මක පිතිකාරිනිය තරඟාවලියේ හොඳම ක්‍රීඩිකාවගේ සම්මානයට පාත්‍ර වූයේ තරගාවලිය අවසන් වීමටත් පෙර බවයි සඳහන්වන්නේ.
බිග්බෑෂ් තරඟාවලියේ හොඳම ක්‍රීඩිකාව තෝරා ගනු ලබන්නේ එම තරඟාවලියේ විනිසුරුවන්ගේ ඡන්ද විමසීමෙන්.
ඊයේ (28) පැවැති අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන තරඟයෙන් සිඩ්නි තන්ඩර්ස් පිල ඉවතට විසි වූවද, ඊයේ තරඟයත් සමඟ මෙතෙක් ක්‍රීඩා කළ ඉනිම් 14කින් අර්ධ ශතක 5ක් සමඟ ලකුණු 552ක් රැස් කරමින් තරඟාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර පෙරමුණට පත්වූ චමරි පන්දු යැවීමෙන්ද කැපී පෙනෙන දස්කම් පාමින් කඩුලු 9ක් දවාලීමට සමත්වී තිබෙනවා.
ඇගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් මෙවර තරඟාවලියේදී සිවුවැනි තැන අත්කර ගැනීමටද සිඩ්නි තන්ඩර්ස් පිල සමත් වුණා.
මීට අමතරව තරඟාවලියට ක්‍රීඩා කළ කණ්ඩායම් අටේම පුහුණුකරුවන් විසින් තෝරා ගනු ලැබූ තරඟාවලියේ හොඳම කණ්ඩායමට ඇය ඇතුළත් කර තිබෙන බවයි වාර්තාවන්නේ.
වසර 2017දී පළමුවරට මෙල්බර්න් රෙනෙගේඩ්ස් පිල නියෝජනය කරමින් බිග් බෑෂ් කාන්තා තරඟාවලියට එක්වූ චමරි බිග්බෑෂ් පිටියට එක්වූ තුන්වැනි අවස්ථාව මෙයයි.
සිඩ්නි තන්ඩර්ස් පිල බිග්බෑෂ් පිටියේ ඉහළට ඔසවා තැබූ චමරිගේ සුපිරි දස්කම් හේතුවෙන් පසුගියදා සිඩ්නි සික්සර්ස් පිල සමඟ පැවැති තරඟයේදී සිඩ්නි ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයක් ‘Chamari Bay’ ලෙස නම් කිරීමටද එම කණ්ඩායමේ බලධාරීන් පියවර ගෙන තිබුණා.
බිග්බෑෂ් පිටියේ ඇගේ දස්කම් හේතුවෙන් නවසීලන්ත ක්‍රිකට් ආයතනය මෙහෙයවනු ලබන සුපර් ස්මෑෂ් කාන්තා විස්සයි20 ලීග් තරඟාවලියේ 2023-24 තරඟවාරයටද ඇය තෝරාගෙන තිබෙන අතර එහිදී ඇය නෝදර්න් බ්‍රේව් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතයි.