දේශීය

සිඳී ගිය වැව්වල ඇති ඩොලර් බිලියන ගණනක මැණික් ගොඩගැනීමේ සූදානමක්

වැසි රහිත කාලගුණය නිසාවෙන් මේ වන විට සිඳී ගොස් ඇති ජලාශවල මැණික් ගැරීමට ඇති හැකියාව පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව සිඳී ගිය අදාළ වැව් හා ජලාශ අතුරින් මැණික් ඉල්ලම් ඇතැයි ඇස්තමේන්තු කර ඇති ජලාශ කිහිපයක ඇති මැණික් ඉල්ලම් ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට මේ වන විට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා.

මෙම ක්‍රියාවලිය සඳහා ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබදව ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව මැදිහත්වී ඇති අතර එම කාරක සභාව අදාළ ආයතනවලට දැනුම්දී ඇත්තේ මැණික් ඉල්ලම් ඇති බවට වාර්තා වන ඉහළ කොත්මලේ ජලාශය, සමනළ වැව ජලාශය, හැටන් නෝටන් බ්‍රිජ් ජලාශය සම්බන්ධයෙන් වාර්තාවක් සතියක් ඇතුළත පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙසයි.

එම කාරක සභාවේ සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසන්නේ සමනළ වැව ජලාශයේ පමණක් ඩොලර් බිලියන 2කට ආසන්න මැණික් ඇති බවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ මැණික් පර්යේෂණ ආයතනය ඇස්තමේන්තු කර ඇති බවයි.

පාරිසරික හානි සිදු නොවෙන ලෙසත්, ජලාශ ආශ්‍රිත ජනතාවට ප්‍රතිලාභ හිමිවෙන ලෙසත් මෙම මැණික් ඉල්ලම් සොයාගැනීමේ ක්‍රියාවලිය සිදුවිය යුතු බවට මෙම සාකච්ඡාවට සහභාගී වූ මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, පතල් හා කැණීම් කාර්යාංශය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, විදුලිබල මණ්ඩලය, අදාළ ප්‍රදේශය භාර දිසාපතිවරු, යන අයට උපදෙස් ලබාදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button