හමාස් සංවිධානයේ සන්නද්ධ අංශයෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

පලස්තීන හමාස් සංවිධානය මුලිනුපුටා දැමීම සඳහා ගාසා තීරයේ ගොඩබිම් හමුදා මෙහෙයුමක් දියත් කළ ඊශ්‍රායල හමුදාව, එහි ‘ගාසා සිටි’ නම් විශාලතම නගරය වටලා තිබෙනවා.
2005 වසරෙන් පසු ගාසා තීරයේ වැඩිම දුරකට ඊශ්‍රායල ගොඩබිම් හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මකවූ ප්‍රථම අවස්ථාව මෙයයි.
ඊශ්‍රායල හමුදා ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි ප්‍රකාශ කළේ, තම හමුදා මඟින් වටලා ඇති ගාසා නගරය හමාස් ත්‍රස්ත සංවිධානයේ කේන්ද්‍රස්ථානය බවයි.
හමාස් සංවිධානය සටනට හොඳින් සූදානම්ව සිටින අතර ඊශ්‍රායල හමුදාවන්ට බිම් බෝම්බ සහ මර උගුල්වලින් බේරී මෙහෙයුම් කිරීමට සිදුව ඇති බවත් ඊශ්‍රායල හමුදා ප්‍රධානියෙකු සඳහන් කර තිබෙනවා.
ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කළ පසු සටන්වලදී මිය ගිය ඊශ්‍රායල සෙබළුන් සංඛ්‍යාවද 23ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හමාස් සංවිධානයේ සන්නද්ධ අංශයේ ප්‍රකාශක අබු උබයිඩා ප්‍රකාශ කළේ, ඊශ්‍රායලය නිල වශයෙන් ප්‍රකාශ කරන සංඛ්‍යාවට වඩා වැඩි සෙබළුන් සංඛ්‍යාවක් ඔවුන්ට අහිමිවී ඇති අතර ඊශ්‍රායල සෙබළුන්ගේ සිරුරු කළු පොලිතින් උරවලින් නැවත ඊශ්‍රායලයට යනු ඇති බවටයි.
එමෙන්ම හමාස් සංවිධානයේ සහ ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ සන්නද්ධ සාමාජිකයන් ඔවුන් සැඟවී සිටින භූගත උමං මාර්ගවලින් පිටතට පැමිණි ඊශ්‍රායල යුද ටැංකිවලට ප්‍රහාර එල්ල කොට නැවත උමං මාර්ගවලට ඇතුළුවී අතුරුදන්වී ඇති බවත් වාර්තාවනවා.
මේ අතර, ඊශ්‍රායල හමුදා මාධ්‍ය ප්‍රකාශක රියර් අද්මිරාල් හගාරි ප්‍රකාශ කළේ, ඊශ්‍රායලය යුද වදින්නේ හමාස් සංවිධානය සමඟ මිස, පලස්තීන සිවිල් වැසියන් සමඟ තමන්ට යුද්ධයක් නොමැති බවයි.
කෙසේ නමුත් සිව් වැනි සතියේ ක්‍රියාත්මක වන ඊශ්‍රායල ගොඩබිම් සහ ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන මරණ සංඛ්‍යාව 9,000 ඉක්මවා ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 32,000කට අධික බව සඳහන්.
මේ අතර, රෝහල් 23ක රෝගීන්ට ඉවත් වන ලෙසට ඊශ්‍රායලය නිවේදනය කර ඇති පසුබිමක, ගාසා තීරයේ රෝහල් 36 අතුරින් 14ක කටයුතු මුළුමනින් අකර්මණ්‍යවී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ගාසාහි රෝහල්වල තත්ත්වය පැහැදිලි කිරීමට තරම් වචන නොමැති බවයි.
යුදමය තත්ත්වයත් සමඟ ගාසා තීරයේ උද්ගතවූ මෙම සෞඛ්‍ය අර්බුදයෙන් එරට වාසය කරන ලක්ෂ තුන ඉක්මවූ බෝ නොවන රෝගීන්ට එල්ලවී ඇත්තේ දැඩි බලපෑමක්.
මේ අතර, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ සහ ළමයින්ගේ මරණ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යාමත් සමඟ ඊශ්‍රායලයට ලොව පුරා එල්ල වන විරෝධය උත්සන්නවී තිබෙනවා.
එහිදී අමෙරිකාවේද අදහසවී ඇත්තේ, ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් එල්ල වන පීඩනය හමුවේ ගාසා තීරයේ කිසියම් සටන් නැවතීමක් ක්‍රියාත්මක කළ යුතු බවයි.
එම පණිවිඩය රැගෙන අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් අද නැවතත් ඊශ්‍රායලයට පැමිණ තිබුණා.
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙලෙස ඊශ්‍රායලයට පැමිණියේ මේ මාසය තුළ දෙවැනි වතාවටයි.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ අනෙකුත් ඊශ්‍රායල නායකයන් සමඟ පවත්වන සාකච්ඡාවලදී ගාසා තීරයේ සිවිල් වැසියන්ට සිදු වන හානිය අවම කිරීමට පියවර ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටිනු ඇති බව සඳහන්වනවා.
කෙසේ නමුත් ඊශ්‍රායලය ආත්මාරක්ෂාව උදෙසා කරන සටන් නැවැත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ගාසා තීරය තුළ තාවකාලික කෙටි කාලීන සටන් නැවැත්වීමක් මෙමඟින් අදහස් කරන බවත් ධවල මන්දිරය ප්‍රකාශ කර තිබෙනවා.
ඊශ්‍රායලය බලා නික්මීමට පෙර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාරවලින් බිඳ වැටුණු ගාසා තීරයේ ගොඩනැගිලි සුන්බුන් අතරින් පලස්තීන ළමයින්ගේ මළ සිරුරු ඉවත් කරගැනීම හද කම්පා කරන අතර ඊට ප්‍රතිචාර දැක්වීම තම වගකීමක් බවයි.
මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයන් කණ්ඩායමක් ගාසා තීරයේ මානුෂීය සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස අදාළ පාර්ශ්වයන් වෙතින් ඉල්ලීමක් කර තිබෙනවා.
ඔහූ පෙන්වාදෙන්නේ, ගාසා තීරයේ පලස්තීන ජනතාව දැවැන්ත ජන සංහාරයකට ලක්වීම වැළැක්වීම සඳහා කාලය ඉකුත් වෙමින් පවතින බවයි.
ආහාර, ජලය, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් කපා හැර ඇති ගාසා තීරයේ පලස්තීනුවන්ට අත්‍යවශ්‍ය ආධාර ලබාදීම සඳහා මානුෂීය සටන් විරාමයක් අනිවාර්‍ය බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම විශේෂඥ කණ්ඩායම පෙන්වා දෙන්නේ, ගාසා තීරයේ පලස්තීනුවන්ට මූලිකදේ පවා හිමි නොවන බවයි.
ගාසා තීරයේ මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටින එක් ජගත් සංවිධාන විශේෂඥයෙකු සඳහන් කළේ, ඊශ්‍රායලයේ දැවැන්ත බෝම්බ ප්‍රහාර ගාසා තීරයේ මිලියන 02කට වැඩි ජනතාවට බලපා ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිලධාරියෙකු පසුගියදා ඉල්ලා අස් වූයේ, ඉදිරියේ ජන සංහාරයක් ක්‍රියාත්මක වෙමින් පැවතුණත් තමන් සේවය කරන සංවිධානයට එය වැළැක්වීමේ බලයක් නොමැති බව පවසමින් .
1948 වසරේ ඊශ්‍රායල දේශය බිහිකිරීමේදී උන්හිටි තැන් අහිමිවූ දහස් සංඛ්‍යාත පලස්තීනුවන් සහ ඔවුන්ගෙන් පැවත එන්නන් රැකවරණය ලබන ජෝර්දානය, ඊශ්‍රායල – හමාස් යුද්ධය දීර්ඝ යුද්ධයක් කරා යොමු වනු ඇති බවට බිය පළ කරනවා.
එහිදී පලස්තීන බටහිර ඉවුරේ පලස්තීනුවන් ඊට දේශසීමාවූ ජෝර්දානයට විශාල වශයෙන් පලවා හැරීමේ අවදානමක් පැවතීම ඊට හේතුවයි.
මේ අතර, ගාසා තීරයේ රෆා පිවිසුම හරහා අද තුන් වැනි දිනටත් විදේශිකයන් සහ තුවාල ලැබූ පලස්තීනුවන් ඉවත් කර ගැනීම සිදුවන බව විදෙස් මාධ්‍ය පවසනවා.
පසුගිය දින දෙක තුළ එලෙස රෆා පිවිසුම හරහා ඊජිප්තුවට විදේශිකයන් 700ක් පමණ ඉවත් කරගැනිණු අතර ඊට ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකුද ඇතුළත්.
මේ අතර, දකුණු ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ රොකට් ප්‍රහාරයක් උතුරු ඊශ්‍රායලයට පතිතවී ඇති අතර, ඉන් ඊශ්‍රායල වැසියන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවනවා.
කෙසේ නමුත් හිස්බුල්ලා රොකට් වෙඩි ප්‍රහාරවලට ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රතිප්‍රහාර එල්ල කරන බව තවදුරටත් සඳහන්.