ගාල්ල බන්ධනාගාරයේ බැක්ටීරියාව සමාජගතවීමේ අවධානමක්?

මෙනින්ජයිටිස් සඳහා භාවිත කරන meningococcal එන්නත රජයේ රෝහල්වල වසරක පමණ කාලයක සිට හිඟ බවත්, මේ වන විට ගාල්ල බන්ධනාගාරය තුළ මෙනින්ජයිටිස් රෝගය පැතිර යන බැවින් එය බරපතළ ප්‍රශ්නයක් බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතුකරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) meningococcal එන්නත් තොගයක් සපයා ඇති බවත්, එම එන්නත් තොගය රේගුවෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවත්, වාර්තා වන බවයි.
විපක්ෂ නායකවරයා අසන ප්‍රශ්නවලට ඉදිරි දිනකදී පිළිතුරු ලබාදෙන බව, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුවැල්ල එහිදී ප්‍රකාශ කළා.
මේ අතර, ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර බෝවන Meningococcal රෝගයට අදාළ බැක්ටීරියාව සමාජය තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව, වෛද්‍ය විශේෂඥයෝ ප්‍රකාශ කරනවා.
එය බෝවන රෝගයක් බැවින් බන්ධනාගාරයට පැමිණි පුද්ගලයන්, ආසාදිත රැඳවියන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූයේ නම්, බැක්ටීරියාව බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමේ හැකියාවක් පවතින බවයි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, ගාල්ල බන්ධනාගාරයේ හදිසි සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සඳහන් කළ, ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, පැවති වසංගත තත්ත්වය මේ වන විට පාලනය වී ඇති බැවින් කලබල නොවන ලෙසයි.
ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍ය ගිනිගේ කියා සිටියේ, බන්ධනාගාරය තුළ බැක්ටීරියාව ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සියලු පියවර ගෙන ඇති බවයි.
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රැඳවියන් 10 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඉන් හතර දෙනෙකු සුවය ලබා සිටින බවද ඔහු අවධාරණය කළා.
ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයාට අනුව, Meningococcal රෝගය Neisseria meningitides බැක්ටීරියාව නිසා ඇතිවන දුර්ලභ රෝගයක් වන අතර, ශ්‍රී ලංකාව මීට පෙර වාර්තා වී ඇත්තේ රෝගීන් කිහිපයක් පමණි.