දේශීය

මහ බැංකුවේ අලාභය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අනාවරණය කරනවා.

ඔහු මේ බව අනාවරණය කළේ, අද (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

එහිදී උදය ගම්මන්පිල මහතා කියා සිටියේ, මෙම කරුණු සඟවමින් වැටුප් වැඩි කරගත් මහබැංකු අධිපතිවරයා සහ පාලනාධිකාරිය ඉල්ලා අස්විය යුතු බවයි.  

මෙහිදී ඔ​හු වැඩිදුරටත් දැක්වු අදහස්,

​ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 වසරේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 114ක්.  2022 වසරේ ශුද්ධ අලාභය බිලියන 374ක්. යම් ආයතනයක් දිගින් දිගටම පාඩු ලබනවා නම් ඒ ආයතනයේ සේවකයින්ගේ වරප්‍රසාද කප්පාදු කරනවා. ප්‍රසාද දීමනා නවත්වනවා. වැටුප් වැඩි කිරීම් අත්හිටුවනවා. ඒත් මහ බැංකුව ලංකා ඉතිහාසයේ ලොකුම වැටුප් වැඩි වීම ලබා දෙන්නේ ආයතනය අඛණ්ඩව වසර ගණනාවක් බිලියන ගණනින් පාඩු ලබන අවස්ථාවකයි. ඒ වගේම ලාභ ලැබුවත් මහ බැංකුවේ තිබෙන්නේ මහජන මුදල්. මහ බැංකුව ලාභ ලබන පළමු ක්‍රමය තමයි ආණ්ඩුවට සහ බැංකුවලට ණයට සල්ලි දීලා පොලී ආදායම ලැබීම. සල්ලි අච්චු ගැසීමේ ඒකාධිකාරිය මහ බැංකුවට තිබෙන නිසායි එහෙම ණයට දෙන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඒ වගේම ආණ්ඩුවේ නිල විදේශ විනිමය සංචිතය කළමනාකරණයෙන් ලැබූ ලාභත් මහ බැංකුවේ ආදායමක්. ඒ කියන්නේ මහ බැංකුවේ තිබෙන්නේ මහජන මුදල්. ඒ නිසා රටම රවටලා තමන් මහජන මුදලින් නඩත්තු වෙන්නේ නෑ කියන බොරුව කියමින් පාඩු ලබන අතරේ වැටුප් වැඩිවීම් කලාට මහ බැංකුවේ අධිපතිතුමන් සහ පාලක මණ්ඩලය වහාම ඉල්ලා අස්විය යුතුයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button