දේශපාලන නායකයින්ට ඇති කැමැත්ත ගැන හෙළිදරව්වක්

ජාතික ජනබලවේගයේ නායකත්වයට සියයට 46ක ජනතා කැමැත්තක් පවතින බවට නවතම සමීක්ෂණයකින් හෙළිවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ, එම සමීක්ෂණයට අනුව වත්මන් රාජ්‍ය පාලනයට සියයට 17ක ජනතා කැමැත්තක්, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සියයට 29ක ජනතා කැමැත්තක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා කැමැත්ත සියයට 8ක් දක්වා පහළ ගොස් ඇති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මෙම අදහස් පළ කළේ, මහර ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.
ඒ පිළිබඳ ඔහු දැක්වූ අදහස්,
“අපිට කිව්වේ 3% කණ්ඩායම කියලානේ. ඔය මොනවා කරත් 3%ට වඩා ගන්න බෑ. රැස්වීම්වල සෙනඟ ඉන්නවා, ඒත් වැඩක් නෑ ඡන්දේ දෙන්නේ නෑ… එහෙම කිය කිය හිටියානේ. ඒගොල්ලෝ 3%යි කියලා අපිට උසුළු විසුළු කළා හැබැයි දැන් බොහෝම පැහැදිලිව ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ ඕනෑම තැනක ජීවත්වෙන ශ්‍රී ලාංකිකයෝ එකතු කරලා ඒ අයගෙන් සමීක්ෂණයක් කළොත්, කරපු සමීක්ෂණවලිනුත් ඔප්පුවෙලා තියෙනවා කොහොමද ජාතික ජනබලවේගයට කැමැත්ත කියලා. ඊයේ පෙරේදා නිකුත් වුණ වාර්තාවේ තියෙන්නේ පොහොට්ටුවට 8%යි. සජිත් ප්‍රේමදාසට 29%යි. රනිල් වික්‍රමසිංහට 17%යි. ජාතික ජනබලවේගයේ අනුර දිසානායකට 46%යි.”
කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පළ කළ අදහස්,
“අද ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිට විරුද්ධව වචනයක්වත් කියනවා ද ? නෑ. මට මතකයි කියනවා රතු අලි කියලා. ඒ ගොල්ලෝ තමා මේ රට බංකොළොත් වෙන්න වැඩියෙන්ම වැඩ කරපු අය. අද සල්ලි වැඩියෙන්ම තියෙන්නේ ජෙවිපෙට. ඉස්සර කැට එකතු කළේ. දැන් රැස්වීමට ලක්ෂ 100ක් විතර වියදම් කරලා කුරුණෑගල රැස්වීමට නුවරිනුත් සෙනඟ ගේනවා. ජනතා විමුක්ති පෙරමුණට පරණ නම තියාගෙන එළියට එන්න බෑ.”