තාක්ෂණික

ඇමෙරිකා​වේ පෞද්ගලික සමාගමක් සද මතට යානයක් ගොඩබස්වයි

සඳ මත සාර්ථකව අභ්‍යවකාශ යානයක් ගොඩබැස්වූ පළමු පෞද්ගලික සමාගම ලෙස අමෙරිකාවේ Intuitive machines සමාගම ඉතිහාසයට එක්වි තිබෙනවා.

ඒ, ඔඩිසියස් නමැති යානය, සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත ගොඩ බස්වමින්.

Intutive machines සමාගම ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ ඒකාබද්ධව මෙම මෙහෙයුම දියත් කර තිබුණා.

1972 වසරේදී පළමුවරට, ඇමෙරිකානු ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලන අධිකාරිය හෙවත් ‘නාසා’ ආයතනය අභ්‍යවකාශ යානයක් සඳ මතට රැගෙන යාමට සමත්ව තිබුණා.

එම මෙහෙයුමෙන් වසර 52කට පසුව ඇමෙරිකාවේ නාසා ආයතනය පෞද්ගලික අංශය සමඟ එක්වි , සඳට රොබෝ යානයක් පතිත කරන පළමු අවස්ථාව මෙයයි.

ඇමරිකා එක්සත් ජනපදය හැරෙන්නට මෙලෙස සඳ මතට සාර්ථකව ගොඩ බෑමට සමත්ව ඇත්තේ තවත් රටවල් හතරක් පමණයි.

පැරණි සෝවියට් සංගමය, චීනය, ඉන්දියාව සහ ජපානය එම රටවල් අතරට එක්ව තිබෙනවා.

ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අදාළ යානය රැගත් ෆැල්කන් 9 රොකට්ටුව පසුගිය 15 වැනිදා අභ්‍යවකාශ ගත කෙරුණා.

මිනිසුන් රහිත එම යානය යොමු කර ඇත්තේ, සඳ මතුපිට අධ්‍යයනය කිරීමේ අරමුණින්.

නාසා ආයතනය නිවේදනය කළේ, රේඩියෝ තරංග මැනීමට උපකාර වන විද්‍යාත්මක උපකරණ 6 ක් ඉන් රැගෙන ගිය බවයි.

අමෙරිකානු චිත්‍ර ශිල්පී ජෙෆ් කූන්ස් විසින් නිර්මාණය කරන ලද කුඩා මූර්ති 125 ක් ද, ඔඩිසියස් යානය සඳ මතට රැගෙන ගොස් තිබෙනවා.

ඒ අනූව ඒවා සඳ මතට රැගෙන ගිය පළමු කලා කෘති ලෙස ඉතිහාසයට එක්වනු ඇති බව නාසා ආයතනය පවසනවා.

නාසා ප්‍රධානී බිල් නෙල්සන් සඳහන් කළේ, අඩ සියවසකට වැඩි කාලයක් සාර්ථක සඳ මෙහෙයුමක් දියත් නොකළ නාසා ආයතනයට සහ අමෙරිකානුවන්ට අද ඓතිහාසික දිනයක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button