බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක්

මෙරට බිත්තරයක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල රුපියල් 30ක් වුවද මේ වනවිට වෙළෙඳපොළෙහි දේශීය බිත්තරයක මිල රුපියල් 60 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එම හේතුවෙන් බිත්තර නිෂ්පාදකයින් හා වෙළෙඳ මාෆියාව විසින් මහජනතාව අනිසි ලෙස ගසා කෑම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් බිත්තර සඳහා පැනවීම සඳහා පියවර ගන්නා ලෙස සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද (01) යෝජනා කළා.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර හා පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය D.B හේරත් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද බිත්තර නිෂ්පාදනය හා මිල සම්බන්ධව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
අලුත් අවුරුදු සමය ඉළක්ක කර ගනිමින් මෙරට බිත්තර මිල ඉහළ නැංවිම සඳහා බිත්තර ශීතාගාරවල රදවා තබා ගනිමින් කෘත්‍රිම බිත්තර හිඟයක් මවා පෑමට මේ වනවිට ඇතැම් බිත්තර නිෂ්පාදකයින් හා වෙළෙඳ මාෆියාව උත්සාහයක නිරතව සිටින බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා.
එහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා දේශීය වෙළෙදපොල තුළ බිත්තර සුලභ කිරීමේ වැඩ පිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කර ඇති බවයි.
එමෙන්ම අවුරුදු මාසය තුළද බිත්තර හිඟයකින් තොරව සැපයීමට රජය අවධානය යොමු කර තිබෙනවා.
මෙම කරුණු සැළකිල්ලට ගනිමින් බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම සඳහා බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ගණන් ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තූවේ අධ්‍යක්ෂිකා ආචාර්ය හේමාලි කොතලාවල මහත්මියට උපදෙස් දුන්නා.
මෙම උපරිම සිල්ලර මිල ලබන සතියේදී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එමෙන්ම මව්සතුන් වාර්ෂික අවශ්‍යතාවය 80,000ක් වුවද මේවනවිට ලබාදී ඇති මව් සතුන් ප්‍රමාණය 100,000 ඉක්මවා තිබෙනවා.
එහිදී සත්ව නිෂ්පාදන සඳහා අවශ්‍ය ආහාර නිෂ්පාදනය සඳහා බලපත්‍රද ලබා දුන්නද බිත්තර නිෂ්පාදනයේදී නිර්මාණය කර තිබෙන කෘත්‍රිම හිඟය හා මිල ඉහළ නැංවීම කිසිසේත්ම සාධාරණ නැති බවත්, එමනිසා බිත්තර මිල ඉහළයාම පාලනයට අනිවාර්යෙන්ම උපරිම සිල්ලර මිලක් නියම කිරීම අවශ්‍ය බවත් අවධාරණය කරනු ලැබුවා.
මෙම සාකච්ඡාවට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙප්රාතමේන්තුවේ නිලධාරින් මෙන්ම පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරින්ද එක්වී සිටියා.