ෆොන්සේකාගේ වාරණ නියෝගය ගැන අධිකරණයෙන් තීරණයක්

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරන තනතුරු අත්හිටුවීම සහ විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය ලබන 19 වෙනදා දක්වා දීර්ඝ කිරීමට අද (04) කොළඹ දිසා අධිකරණය නියෝග කළා.
කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේ, සරත් ෆොන්සේකා මහතා ගොනු කළ පෙත්සමක් අද යළි සලකා බැලීමෙන් අනතුරුවයි.
එහිදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂද සිල්වා යන මහත්වරු වෙත මෙම වාරණ නියෝග නිකුත් කර තිබෙනවා.
පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකාර සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා මහතා සඳහන් කළේ, අදාළ වාරණ නියෝගයට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
ඉන් අනතුරුව වාරණ නියෝගය ලබන 19 වනදා දක්වා දීර්ඝ කළ අධිකරණය එදින අදාළ විරෝධතා සම්බන්ධයෙන් කරුණු සලකා බලන බවත් නිවේදනය කළා.
එහිටි පෙත්සම්කරු කියා සිටියේ, හිටපු හමුදාපති දයා රත්නායක මහතාව සමගි ජන බලවේගයට එක්වීම සම්බන්ධයෙන් තම සේවාදායකයා ඊට එරෙහිව පළ කළ අදහස් පදනම් කරගෙන ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවට පසුගිය කාලයේ මාධ්‍ය වලින් තොරතුරු පළවී තිබූ බවයි.
එවැනි ආකාරයෙන් අසාධාරණ ලෙස තම සේවාදායකයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම, තනතුරු අත්හිටුවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය සහ සමග ජන බලවේගය තුළ දරන තනතුරු අත්හිටුවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් සරත් ෆොන්සේකා මහතා අධිකරණයෙන් ඉල්ලා තිබුනා.