දේශීය

විදුලි බිල වැඩි කිරීමට එරෙහි පාගමනකට අධිකරණයෙන් නියෝගයක්

විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව අද (01) දිනයේ සංවිධානය කර ඇති විරෝධතා පාගමනකට අදාළව කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර තිබෙනවා.

විදුලිබල අමාත්‍යාංශය අසලට පැමිණීමට සුදානම් වන “අනීතික විදුලි බිලට එරෙහි පාගමන”ට සහභාගී වන සාමාජිකයන්ට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, ගාලුමුවදොර ඇතුළු ස්ථාන ගණනාවකට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ එම නියෝගය නිකුත් කර තිබෙන බවටයි වාර්තාවන්නේ.

විරෝධතාකරුවන් සිදුකරන උද්ඝෝෂණය හේතුවෙන් මහජන පීඩාවක් ඇති විය හැකි බවත් ඔවුන් රාජ්‍ය දේපළවලට, රාජ්‍ය නිලධාරින්ට හානි කළ හැකි බවත් කියමින් කොටුව, කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානිධිපතිවරුන් සිදුකළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය සිදුකර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මහජනතාවගේ භාෂණයේ, රැස්වීමේ නිදහසේ ගමන්බිමන් යෑමේ නිදහස ආරක්‍ෂා කිරීමට අධිකරණය බැඳී ඇති බැවින් අදාළ පාගමනට එක්වන ජනතාව සාමකාමීව කටයුතු කරන ලෙස දන්වා සිටි මහෙස්ත්‍රාත්වරයා එලෙස කටයුතු නොකරන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන අනුව කටයුතු කරන ලෙස පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා.

එහිදී සඳහන් කරන්නේ, මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ – මීගමු මාර්ගය ඇතුළු ප්‍රධාන මාර්ග අවහිර වීමට හැකියාව ඇති අතර එසේ වුවහොත් එම මාර්ග භාවිතා කරන සාමකාමී ජනතාවට පීඩා ඇතිවිය හැකි බවයි.

එමෙන්ම ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා විය හැකි අතර ජාතික ආර්ථිකයට හානි විය හැකි බවත් සඳහන් කළ පොලිස්ථානාධිපතිවරු විරෝධතා පාගමන හේතුවෙන් පොදු දේපළ පනත, මංමාවත් පනත, පොලිස් ආඥා පනත හා දණ්ඩ නීතී සංග්‍රහය උල්ලංඝනය විය හැකි බවයි පෙන්වාදී තිබෙන්නේ.

ඒ අනුව රන්ජන් ජයලාල් ඇතුළු 5 දෙනෙක් වග උත්තරකරුවන් කරමින් නියෝග ඉල්ලා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button