ජාතික හැඟීම් රිදවන ඇඳුම් තහනම් කිරීමට චීනය සැරසෙයි

චීන ජනතාවගේ ජාතික හැඟීම්වලට රිදවන අයුරින් කතා කිරීම සහ ඇඳුම් පැළඳුම් භාවිතය තහනම් කරමින් හඳුන්වා දී ඇති පනත් කෙටුම්පතක් චීනය තුළ මත භේදාත්මක තත්වයකට තුඩු දී තිබෙනවා.
මෙම නීති කඩ කිරීමෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට දඩ නියම කිරීමට හා සිරගත කිරීමට රජයට හැකියාව ලැබෙන නමුත් කුමන වරදක් යටතේ එම නීති උල්ලංඝනය වන්නේද යන්න තවමත් චීන රජය විසින් පැහැදිලිව පවසා නැහැ.
සමාජ මාධ්‍ය පරිශීලකයින් සහ නීති විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම නීති මඟින් අනවශ්‍ය ලෙස ජනතා නිදහස සීමා කිරීම වැළැක්වීමට නම් ඒ සම්බන්ධයෙන් නිශ්චිත පැහැදිලි කිරීමක් රජය විසින් සිදු කළ යුතු බවයි.
චීනය මෑතකදී එරට මහජන ආරක්ෂක නීති සඳහා වෙනස්කම් රාශියක් යෝජනා කර තිබුණා.
කෙසේවෙතත් ඇඳුම් සම්බන්ධයෙන් නිකුත් කර ඇති මෙම නීතියට එරෙහිව එරට ජනතාව දැඩි ප්‍රතිචාර දක්වා තිබූ අතර එය ඔවුන්ගේ නිදහස අනවශ්‍ය ලෙස සීමා කරන පදනම් විරහිත යෝජනාවක් බව ඔවුන් පෙන්වා දෙනවා.
චීන ජාතික හැඟීම්වලට රිදවන ඇඳුම් හෝ සංකේත පළඳින අය හෝ අන් අයට එසේ ඇඳීමට බල කරන පුද්ගලයින් දින 15 ක් දක්වා රඳවා තබාගෙන යුවාන් 5000ක දඩයකට යටත් කළ හැකි බවද මෙම නීතිය මඟින් යෝජනා කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ යෝජිත නීතිය මඟින් චීනයේ ජාතික විරුවන්ට අපහාස කිරීම මෙන්ම ඔවුන්ගේ අනුස්මරණ ප්‍රතිමා විනාශ කිරීම ද තහනම් කර ඇති බවයි.