බස් ගාස්තුවත් ඉහළ දැමීමට පියවර

සියයට 18ක වැට් බද්ද හේතුවෙන් හෙට (01) සිට ක්‍රියාත්මක කිරීමට යෝජිතව සියලුම බස් ගාස්තු 15 % ක පමණ ප්‍රතිශතයකින් ඉහළ යනු ඇති බව වාර්තාවනවා.
මේ අනුව දැනට රුපියල් 30 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 35ක් වනු ඇති බවද සෙසු සියලුම ගාස්තුද එම ප්‍රතිශතයෙන්ම ඉහළ යනු ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.
වැට් බද්ද 15 % සිට 18 % දක්වා ඉහළ නැංවීමට රජය ගෙන ඇති තීරණයට අනුව ඉන්ධන සඳහාද බදු පනවා ඇති නමුත් වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන සඳහා අය කළ 7.5 % ක බද්ද ඉවත් කිරීමත් සමග ඩීසල් පෙට්‍රල් හා ගෑස් සඳහා අය වන්නේ 10.5 %ක බද්දක් බවයි සඳහන්වන්නේ.
එමෙන්ම බස් ගාස්තු වැඩි කිරීමේදී ඉන්ධන මිල පමණක් අදාළ කර නොගනිමින් සෙසු නිර්ණායක 11ද සැලකිල්ලට ගෙන ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙසට බස් සංගම් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කර ඇති අතර ඒ අනුව බස් ගාස්තුව 15 % ක පමණ ප්‍රතිශතයකින් ඉහළ නැංවෙනු ඇති බව සමස්ත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවා.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය බස්වලට අවශ්‍ය ටයර්, බැටරි, ලිහිසි තෙල්, ටියුබ් ඇතුළු අමතර උපාංග සඳහා වන වියදම, බස් හිමියන් වාර්ෂිකව ගෙවන බලපත්‍ර ගාස්තු, සේවක වැටුප් සඳහා වන වියදම් ඇතුළු නිර්ණායක දොළහක් සැලකිල්ලට ගෙන සිදු කරන බවත් වැට් බදු ඉහළ නැංවීමෙන් අමතර උපාංග සඳහා අධික පිරිවැයක් දැරීමට බස් හිමියන්ට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අනුව ඉන්ධන සඳහා වැඩි කිරීමට යන 10.5 % ට අමතරව සෙසු නිර්ණායක 11ද පදනම් කර ගනිමින් බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙස ඉල්ලා සිටින බව පවසන අංජන ප්‍රියන්ජිත් මහතා එසේ නොවෙන්නේ නම් දිවයින පුරාම අඛණ්ඩ බස් වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද අවධාරණය කළා.