ගාසා තීරයේ ‘දිනකට ළමුන් 420ක් මිය යන හෝ තුවාල ලබනවා – UNICEF

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ක්‍රියාත්මක යුද්ධ ගැටුම්වලින් ගාසා තීරයේ 8,300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය උපුටා දක්වමින් පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනය පවසනවා.
එම ආයතනය සඳහන් කර ඇත්තේ, මිය ගිය පිරිසෙන් 70%කට ආසන්න ගණනක් කාන්තාවන් සහ දරුවන් බවත් දස දහස් ගණනක් මේ වන විට තුවාල ලබා ඇති බවයි.
ගත වුණු සති තුනක කාලය තුළ ගැටුම් හේතුවෙන් ළමුන් 3,400කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් 6,300කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව යුනිසෙෆ් විධායක අධ්‍යක්ෂිකා කැතරින් රසල් සඳහන් කර තිබෙනවා.
එහිදී ඇය ප්‍රකාශ කර තිබෙන්නේ, “මෙයින් අදහස් කරන්නේ, ගාසා තීරයේ සෑම දිනකම දරුවන් 420කට වැඩි ගණනක් මිය යමින් හෝ තුවාල ලබමින් සිටින බව යි,” යනුවෙනි.
පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනය ප්‍රධානී ෆිලිප් ලාසරීනි ඉකුත් සඳුදා (30) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකදී පෙන්වා දී ඇත්තේ, “මෙය 2019 සිට ලෝකයේ ගැටුම් කලාපවල වාර්ෂිකව මරණයට පත්වන ළමුන් සංඛ්‍යාව ඉක්මවා යන” බවයි.
එමෙන්ම, මිලියන ගණනකගේ ජීවිත රැක ගැනීමට කඩිනමින් සටන් විරාමයකට එළඹිය යුතු බවටද ඔහු අවධාරණය කර තිබෙනවා.
ලාසරීනි ප්‍රකාශ කර ඇත්තේ, ගාසා තීරය තුළ ළමුන් දහස් ගණනක් මරණයට පත් වීම “නොදැනුවත්කමින් සිදුවන ක්‍රියාවක්” විය නොහැකි බවයි.
“ගාසා තීරයේ වෙසෙන සමස්ත ජනගහනයම මනුෂ්‍යයන් ලෙස නොසැලකෙන තත්ත්වයට පරිවර්තනය වෙමින් පවතින බව” ඔහු අවධාරණය කර තිබෙනවා.
මේ අතර, එක්සත් ජනපදය පවසා ඇත්තේ, ඉදිරි දිනවලදී ගාසා තීරයට ලැබෙන ආධාරවල සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කරන බවයි.
එක්සත් ජාතීන්ගේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ, මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, බොහෝ දරුවන්ට දැන් ජීවත් වීමට ඇත්තේ, ලවණ සහිත ජලය පමණක් බවටයි.
ඔක්තෝබර් 7 වනදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලය වෙත එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරයෙන් පුද්ගලයන් 1400 දෙනෙකු මිය ගොස් තිබුණු අතර අවම වශයෙන් 239 දෙනෙකු පමණ ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන ගොස් තිබුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ, ඊශ්‍රායලය ගසා තීරය වෙත ගුවන් මෙන් ම ගොඩබිම හරහාද එල්ල කරන ප්‍රහාර තවදුරටත් තීව්ර කර ඇති බවයි.